keheliya-school-name

ජීවමාන දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන්ගේ නම් පාසල්වලින් ඉවත් කරන ලෙස සියලුම පළාත් ආණ්ඩුකාරවරුන් දැනුවත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසීය.
ලබන සිකුරාදා (පෙබ. 16) සියලුම ආණ්ඩුකාරවරුන් රැස්වී මෙම තීරණය දැනුම් දෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

මින් ඉදිරියට ජීවතුන් අතර සිටින කිසිවකුගේ නමක් පාසල්වලට භාවිත නොකරන ලෙසට උපදෙස් දෙන බවද හෙතෙම පැවැසීය.



පාසල් ආදි ශිෂ්‍ය සංගම්වල ඉල්ලීමට අනුව පසුගිය කාලයේ දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන් ජීවත්ව සිටියදී පාසල්වලට නම් තැබූ බවද ඇමැතිවරයා කීය.

මේ අතර ආධාර දෙන මුවාවෙන් දේශපාලනඥයින් පාසල් ගොස් දේශපාලන කතා පැවැත්වීම නතර කිරීමට පියවර ගන්නා බවද ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිරගත කිරීමෙන් පසු ඔහුගේ නමින් මහනුවර කුන්ඩසාලේ පාසලක නම තිබී එය ඉවත් කරන ලෙස බොහෝ දෙනාගෙන් ඉල්ලීම් ලැබුණ අතර මෙම තීරණය එහි ප්‍රතිඵලයකි.
මහින්ද රාජපක්ෂ,රොසාන් මහානාම ඇතුළු ජීවමාන පුද්ගලයින්ගේ නම් වලින් පාසල් ගණනාවක්ද මෙම තීරණයට නතුවනු ඇත.