kosgama-incident

ක්ලාන්ත ගතියක් මවා පා උප්පරවැට්ටියක් යෙදූ කාන්තාවක අවිස්සාවේල්ල කොස්ගම පොළට පැමිණි කාන්තාවකගේ ගෙල බැඳි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා රන් මාලය සහ පෙන්ඩන 2 ක් කොල්ලකා පලාගොස් ඇතැයි කොස්ගම පොලිසිය කියයි.

පවුම් දෙකක බරින් යුත් මැෂින්කට් හැඩයේ පුරුක් සහිත රන් මාලයක් සහ බර ප්‍රමාණය නොදත් රුපියල් 125000- ක් පමණ වටිනා පෙන්ඩන් දෙකක් එලෙස කොල්ලකා ඇත.



කොස්ගම, පහළ කොස්ගම පන්සල පාර පදිංචි පැමිණිලිකාරිය රුධිර පරීක්ෂණයක් සඳහා කොස්ගම නගරයට පැමිණ එය අවසන්වීමෙන් අනතුරුව කොස්ගම පොළෙන් බඩු භාණ්ඩ රැගෙන පැමිණෙද්දී නාදුනන කාන්තාව හමුවී ඇතැයි පොලිසිය කීය.

එම කාන්තාවට පැමිණිලිකාරියට පවසා ඇත්තේ ඒ ආසන්නයේ ඇති කරවල කඩයෙන් කරවල රැගෙන යාමට පැමිණි බවත්ය. මඳ වේලාවකදී එම කාන්තාවට තමන්ට ක්ලාන්තයක් ඇති බවත් පවසා එම කරවල කඩේට යාබදව තිබෙන වසා තිබූ කඩය ඉදිරිපිට තිබූ සුදු පාටට හුරු ප්ලාස්ටික් පුටුවේ වාඩිවීමේ දී පැමිණිලිකාරිය ද ඇයගේ අසනීප තත්ත්වය ගැන සිතා ඒ ආසන්නයේ රැඳී සිට ඇති බවත් පොලිසිය කියයි.



මඳ වේලාවක දී එම කාන්තාව තමන්ට අසනීප තත්ත්වය හොඳ බව පවසා එකවරම පුටුවෙන් නැගී සිට කාන්තාවගේ ගෙල දෙසට කඩා පැන ගෙල තදින් අල්ලා පැලඳ සිටි රන් මාලය කඩාගෙන පලාගිය බව පැමිණිල්ලේ සඳහන් වෙයි.

සිද්ධියට මුහුණ පෑ පැමිණිලිකාරිය තමන්ගෙන් කොල්ලකෑ අන් ආභරණ සේම කොල්ලකාරිය නැවත දුටුවොත් හඳුනාගත හැකි බව සටහන් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

කොස්ගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ