kudu-salindu-piyuma

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ‘කුඩු සළිඳු' නමැත්තාගේ ප්‍රධාන ගෝලයකු බව කියන හපුආරච්චිගේ දොන් පියුම් හස්තික නොහොත් ‘පියුමා’ නමැත්තා ඩුබායි හි සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (15) අලුයම කටුනායක ගුවන්තොටුපොළට රැගෙන එනු ලැබීය.

මෙලෙස ඩුබායි හි සිට මෙරටට රැගෙන එනු ලැබුවේ කමරදූව, අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි හපුආරච්චිගේ දොන් පියුම් හස්තික නොහොත් ‘පියුමා’ නමැත්තෙකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සෙල්ලප්පෙරුමගේ සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් ‘කුඩු සළිඳු' නමැත්තා අත්අඩංගුවට ගෙන මෙතෙක් කරනු ලැබූ විමර්ශනවලට අනුව කුඩු සළිඳුගේ ප්‍රධාන ගෝලයා බව කියන ‘පියුමා’ ඩුබායි රාජ්‍යයේ සිට මනුෂ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර ඇති බවට අනාවරණය වී ඇත.



මෙරටින් ඩුබායි රාජ්‍යයට යැවූ රතු නිවේදනවලට අනුව ඔහු ඩුබායි පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.කුඩු සළිඳු නමැත්තාගේ සන්තකයේ තිබී බාරයට ගත් ජංගම දුරකතනය ඔස්සේ කළ විමර්ශනවලදී හෙළි වූ තොරතුරු අනුව ඔහු පියුම් හස්තික නොහොත් ‘පියුමා’ සමග අවස්ථා 53 කදී රුපියල් අටකෝටි තිස් ලක්ෂයක මුදලක් හුවමාරු කරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත.2022 ජූලි 6 වැනිදා සිට ඉකුත් වසරේ පෙබරවාරි 28 දක්වා කාලය තුළ සළිඳුගේ වැඩිමහලු සොහොයුරු වන සදීෂ් ගුණරත්න නමැත්තා මෙම ගනුදෙනු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව මෙතෙක් කර ඇති විමර්ශනවලට අනුව ‘පියුමා’ රිවෝල්ර් වර්ගයේ ගිනි අවියක ඡායාරූපයක් එකල ඩුබායි සිටි කුඩු සළිඳුට වස්ඇප් මාර්ගයෙන් යවා ඇති අතර පානදුර සහ කළුතර ප්‍රදේශවල මනුෂ්‍ය ඝාතනවලට එම රිවෝල්වරය යොදාගත්තේ ද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකෙරේ. 2021 වසරේ ජනවාරි 25 වැනිදා පානදුර උතුර පොලිස් වසමේදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු

මාවතගේ ලක්ෂාන් සඳරුවන් නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසිය පරීක්ෂණ මෙහෙයවා පොලිස්පතිවරයාගේ නියෝග එම පරීක්ෂණ කටයුතු 2023 ජූලි 5 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී තිබිණි.

පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලැබූ විමර්ශනවලදී එම වෙඩි තැබීමට සම්බන්ධ යතුරුපැදියේ පැදිකරු වශයෙන් කටයුතු කර ඇත්තේ පියුම් හස්තික නොහොත් පියුමා බවට අනාවරණය වී ඇත. ඒ අනුව ඔහු එම නඩුවේ 8 වැනි සැකකරු ලෙස ද නම්කරනු ලැබ සිටියේය.එහිදී පියුමා නමැත්තා අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් සිටියේය. සැකකරුගේ ජාතික හැඳුනුම්පත් අංකයට අදාළව ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් තොරතුරු පරීක්ෂා කිරීමේදී සැකකරු 2021 වසරේ පෙබරවාරි 9 වැනිදා ඩුබායි රාජ්‍ය වෙත පලාගොස් සිටි බව පොලිස් මූලස්ථානය පවසයි.

2022 වසරේ ජූනි මාසයේ කටුබැද්ද මංසන්දියේදී ඩී.එම්.සී.එච්. නිලන්ත කුමාර සිල්වා සහ මොහොමඩ් සාවුඩ් මොහොමඞ් සම්සාඩ් යන දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලිසිය විමර්ශන කර ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් කළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ කුඩු සළිඳුගේ අනුදැනුම මත ඩුබායි රාජ්‍යයේ සිටි ‘පියුමා' එම අපරාධය මෙහෙයවා ඇති බවය. ඩුබායි හි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙරටට භාර දුන් පියුම් හස්තික නොහොත් පියුමා නමැත්තා පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ මෙහෙයවීම මත වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.

  ටී.කේ.ජී. කපිල