lottery-strike

ලොතරැයිපතක් අළෙවි කිරීමේදී නියෝජිතයන් දිරිගැන්වීම සඳහා ලබා දුන් ශත පනහේ කොමිස් මුදල ඉවත් කිරීමට විරෝධය දක්වා හෙට (06දා) ලොතරැයිපත් අළෙව්යෙන් ඉවත් වන බව සමස්ත ලංකා ලොතරැයි අළෙවි නියෝජිතයන්ගේ සංගමය සඳහන් කරයි.



ලොතරැයිපතක මිල රුපියල් හතළිහක් බවට පත් කිරීමේදී අළෙවි නියෝජිතයන් හා අළෙවි සහායකයන් දිරිමත් කිරිම සඳහා ලබා දුන් ශත පනහක කොමිස් මුදල 03වන දින සිට ඉවත් කර තිබෙන බවද එම සංගමය පෙන්වා දෙයි.

රුපියල් 20ක්ව පැවැති ලොතරැයිපතක මිල රුපියල් හතළිහක් බවට පත් කිරීමට සාපේක්ෂව අළෙවි නියෝජිතයන්ට ලබා දෙන කොමිස් මුදල රුපියල් අටක් බවට පත් කරන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබූ බවද සඳහන් කළේය.එහෙත් ලොතරැයිපතක් වෙනුවෙන් ලබාදීමට තීරණය කරනු ලැබුවේ රුපියල් 7.50ක කොමිස් මුදල් බවත් මෙම කොමිස් මුදල ප්‍රමාණවත් නොවීම නිසා අළෙවි නියෝජිතයන් යම් විරෝධයක් දැක්වූ බවත් මේ අනුව දිරිමත් කිරීමට බව පවසමින් තවත් ශත පනහක මුදලක් ලබා දුන් බවද පෙන්වා දෙයි.

මෙම රුපියල් අටක කොමිස් මුදලින් රුපියල් 5ක් හෝ ඊට වැඩි මුදලක් අළෙවි සහායකයන්ට ලබා දිය යුතු බවත්

ඉතිරි මුදල අළෙවි නියෝජිතයන්ට හිමි වන බවත් පනවා තිබෙන බදුවලට අනුව අළෙවි නියෝජිතයන් පවා රජයට බදු ගෙවීමට සිදුව තිබෙන බවද සඳහන් කරයි. මේ නිසා ඉවත් කළ ශත 50 කොමිස් මුදල නැවත ලබා දෙන ලෙස ඉල්ලා මෙම ක්‍රියාමාර්ගය සිදුකරන බවත් අදාළ ඉල්ලීමට සාධාරණයක් සිදුනොවුණහොත් ඉදිරියේදීත් ක්‍රියාමාර්ග සිදුකරන බවත් පෙන්වා දෙයි.

ඉන්දික හේවාවිතාරණ