mahabage-murder-update

මහබාගේ ප්‍රදේශයේ මස් කඩහිමිකරුවෙකු ඝාතනය කිරීමේ සිදුවීමට සහ තවත් අපරාධ රැසකට අවශ්‍යව සිටි හිටපු හමුදා සෙබළෙක් සූරියවැව ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය සමග ඇති වූ ගැටුමකින් මියගොස් තිබේ.

මියගිය පුද්ගලයා සුරියවැව ප්‍රදේශයේ ආඩිගම වැව අසල වාඩියක සැඟවී සිටින බවට ලද බුද්ධි තොරතුරක් මත අද (28) අලුයම ක්ෂණික වැටලීමක් සිදුකර ඇත.



එහිදී සැකකරු විසින් ගිනිඅවියකින් නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී සැකකරු තුවාල ලබා තිබේ.

පසුව සැකකරුව සුරියවැව රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත.

වෙඩි හුවමාරුවෙන් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙකු ද තුවාල ලබා තිබේ.

මෙම සැකකරු පසුගිය අගෝස්තු 8 වන දින වැල්ලම්පිටිය, කිත්තම්පහුම ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩිතැබීම, ජුනි 17 වනදා මීටියාගොඩ, සීනිගම දේවාලය අසල විදුර නැමති සංවිධානාත්මක අපරාධකරුගේ මස්සිනා වන දුලාජ් යන අයට කොස්ගොඩ සුජී නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ මෙහෙයවීමෙන් වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීම යන සිද්ධි සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී තිබේ.

ඔහු දකුණු කණුමුල්දෙණිය, මීඇල්ල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙක් වන අතර, සැකකරු සන්තකයේ තිබී රිවෝලර් වර්ගයේ ගිනිඅවියක් සහ යතුරුපැදියක්ද අත්අඩංගුවට ගෙන ඇත.



මේ අතර, පසුගිය 21 වනදා උදෑසන යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර තිබූ අතර එහිදී මස් කඩහිමිකරු වන 42 හැවිරිදි ජා ඇළ උතුරු බටගම ප්‍රදේශයේ පදිංචි දොන් සුජිත් හෙවත් උකුක්වා නැමැත්තා ජීවිතක්ෂයට පත්වුණි.

පොලිස් විශේෂ කාර්ය බළකාය සමග ඇති වූ ගැටුමකින් මියගොස් ඇත්තේ, අදාළ ඝාතනය සඳහා යතුරුපැදිකරු ලෙස ක්‍රියාකළ පුද්ගලයා බවට හඳුනා ගෙන තිබේ.

ඝාතනයට ලක් වූ උක්කුවා නැමැත්තා විදෙස්ගතව සැඟව සිටින "වැල්ලේ සාරංග" නම් අපරාධකරුගේ නැගණියගේ සැමියා බවට පසුව අනාවරණය වුණි.

"වැල්ලේ සාරංගගේ" ප්‍රතිවාදියෙකු ලෙස සැලකෙන තවත් අපරාධකරුවකු වන ඩුබායි නිපුන නැමැත්තාගේ පාර්ශ්වයෙන් මියගිය පුද්ගලයාට මරණ තර්ජන තිබීම හේතුවෙන් පොලීසිය ඔහුට අදාළ වෙළඳසැලට නොපැමිණෙන ලෙසද මින්පෙර දැනුම්දී තිබිණි.