කොළඹ වරායේ නැංගුරම්ලා තිබූ සිංගප්පූරු සමාගමකට අයත් නැවක කන්ටේනරයකසැඟවී දින අටක මුහුදු ගමනකින් පසු මැලේසියාවේ වරායකට ගොස් සිටි ශ්‍රී ලාංකික යුවළක් එම නැවේ කපිතාන්වරයා විසින් අල්ලා චීන බලධාරීන්ට බාරදෙනු ලැබීමෙන් අනතුරුව එම යුවළ කටුනායක ගුවන්තොටුපළට පෙරේදා (24) රැගෙනවිත් පොලිසියට බාර දුන් බව ගුවන්තොටුපළේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.ගුවන් තොටුපොළ බලධාරීන්ට බාර දුන් මෙම ශ්‍රී ලාංකික යුවළ රහස් පොලිසියේ තැනැත්තන් වෙළෙඳාම සහ සමුද්‍රීය අපරාධ වැළැක්වීමේ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර පරික්ෂණ සඳහා සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.චීන පොලිස් නිලධාරීන් පස් දෙනකුගේ දැඩි ආරක්ෂාව සහ රැකවල් මැද මෙම යුවළ මෙරටට රැගෙන එනු ලැබුවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ.එල්. 867 දරන ගුවන් යානයෙනි.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ත්‍රිකුණාමල ප්‍රදේශයේ පදිංචිකරුවකු සහ වත්තල, හැඳල, පල්ලියවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි.
කන්ටේනරයක සැඟවී නැවකින් හොර රහසේ විදෙස් රටකට පලා ගොස් අසුවූ පළමු ශ්‍රී ලාංකික යුවළ ලෙසසැලකෙන්නේ ඔවුන් දෙදෙනා යැයි කියති.පිරිමියාගේ වයස අවුරුදු 40ක් පමණ වන අතර, කාන්තාවගේ වයස අවුරුදු 27ක් බව පොලිසිය කියයි.කොළඹ වරායේ කන්ටේනර් රථ රියැදුරකු ලෙස සේවය කරන එක්දරු පියකු වූ සැකකරු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු පල්ලියවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සමග කාලයක සිට අනියම් සම්බන්ධතාවක් පවත්වා ගෙන ගොස් ඇතැයි කියති.
පසුව දෙදෙනා විදෙස් රටකට පලා යෑමට කතිකා කරගෙන ඇති අතර, ඒ සඳහා සැලසුම් කර ඇතැයි කියන්නේ කන්ටේනර් රථ රියැදුරාය.කන්ටේනර් රථ රියැදුරා එම කාන්තාව ඔහු සේවය කරන කන්ටේනර් රථයේ සඟවාගෙන පසුගිය 30 වැනිදා කොළඹ වරායට පැමිණ ඇති අතර, කන්ටේනර් රථයේ සැඟවී සිටි කාන්තාව සමග කන්ටේනර් රථ රියැදුරා කාටත් නොපෙනෙන අයුරින් සිංගප්පූරු සමාගමකට අයත් නැවක තිබූ හිස් කන්ටේනරයකට ගොස් සැඟවී ඇතැයි කියති.එම නැව පැමිණ ඇත්තේ ඉන්දියාවේ සිට වන අතර එය බඩු පැටවූ කන්ටේනර් රථ තොගයක් රැගෙන තවත් රටවල් කිහිපයකට යාත්‍රා කිරීමට නියමිතව තිබීඇත. කන්ටේනරයට රිංගා ගත් පසු පිරිමියා ඒ තුළට වාතාශ්‍රය ලැබෙන සේ එහි දොර සූක්ෂම ලෙස යාන්තමට විවර කර තබා ගෙන ඇතැයි ද කියති.කන්ටේනරයට රිංගා ගත් යුවළ වතුර බෝතල් සහ කෑමට සමපෝෂ හා බිස්කට් වර්ග කිහිපයක් ගමන් බෑගයක දමාගෙන රැගෙන ගොස් ඇතැයි ගුවන්තොටු පොළේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීවේය.
දින අටක මුහුදු ගමනකින් පසු එම නැව මැලේසියාවේ වරායකට සේන්දු වූ අවස්ථාවේ මෙම ශ්‍රී ලාංකික යුවළ කන්ටේනර් රථයෙන් එළියට ඒමට උත්සාහ කර අතර, කර අතර, එහිදී නැවේ කපිතාන්වරයා දැක ඔවුන් දෙදෙනා අල්ලාගෙන ඇතැයිද එම නිලධාරියා සඳහන් කළේය.කපිතාන්වරයා ඇතුළු කාර්යමණ්ඩලය එම යුවළගෙන් ප්‍රශ්න කර ඇති අතර ඔවුන් පැවසූ තොරතුරු අසා ඔවුන් ද විශ්මයට පත් වී ඇතැයි කියති.කපිතාන්වරයා විසින් අල්ලා ගනු ලැබූ මෙම ශ්‍රී ලාංකික යුවළ මැලේසියාවේ බලධාරීන්ට බාරදීමට උත්සාහ කර ඇතත් ඔවුන් එම යුවළ බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.
අනතුරුව නැව චීනයට පැමිණීමෙන් මෙම ශ්‍රී ලාංකික පසු කපිතාන්වරයා යුවළ එරට බලධාරීන්ට බාර දී ඇත. රහස් පොලිසියේ තැනැත්තන් වෙළෙඳාම සහ සමුද්‍රීය අපරාධ වැළැක්වීමේ කොට්ඨාසයේ නිලධාරීන්ද මෙම ශ්‍රී ලාංකික යුවළගෙන් ප්‍රශ්න කර මෙම තොරතුරු තහවුරු කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන කාන්තාව සමඟ කුමන හෝ රටකට පලාගොස් රැකියාවක් කර නිදහසේ ජීවත්වීමේ අරමුණින් මෙම ගමන ආ බව සැකකාර කන්ටේනර් රථ රියැදුරා රහස් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇතැයි දැනගැනීමට ඇත. අත්අඩංගුවට ගත් සැකකාර යුවළ සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
0 Comments