man-death-pond

හොරණ දොඹගොඩ යුද හමුදා කඳවුරේ පොකුණක අභිරහස් ලෙස මියගිය සෙබළාගේ මරණයට විවෘත තීන්දුවක් ලබාදීමට හොරණ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සඳකැන් වඩුගේ මහතා තීරණය කළ බව අඟුරුවාතොට පොලිසිය කියයි.මෙලෙස අභිරහස් ලෙස මියගොස් තිබුණේ තෙලුල්ල ඇතිලිවැව පදිංචිව සිටි 7 වන යුද උපකරණ බළකායට අයත් සාමාන්‍ය සෙබළ ඩබ්ලිව්.එම්.ටී. ලක්ෂ්මන් නමැති 23 හැවිරිදි විවාහක පුද්ගලයෙකි. ඔහු සාමාන්‍ය සෙබළ පුහුණු උපදේශකවරයකු ලෙස කටයුතු කර ඇත.

ඉකුත් විසි අටවෙනි දින අටවෙනි දින අභිරහස් ලෙස මියගිය සෙබළා ශාරීරික අභ්‍යාස පෙළපාලියට පෙනී නොසිටි බැවින් සෙබළාව සොයා ඇතත් හමුවී නොමැති වීම හේතුවෙන් ඒ පිළිබඳ සෙබළාගේ නිවස ද දැනුවත් කිරීමට හමුදාව මගින් පියවර ගෙන තිබිණි. අනතුරුව ඊට පසු දින අතුරුදන් වූ සෙබළා අභිරහස් ලෙස මියගොස් සිටියදී හමුදා භූමියේ පොකුණකින් ඔහුගේ මළ සිරුර හමවී තිබේ.අගුරුවාතොට පොලිසිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව වැඩබලන මහේස්ත්‍රාත් සුනිල් ගුණරත්න මහතා

එම ස්ථානයට පැමිණ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා මළසිරුර හොරණ මූලික රෝහලේ තැන්පත් කර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස පොලිසියට නියෝග කළේය.ඒ අනුව හොරණ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි සඳකැන් වඩුගේ මහතා විසින් සිදු කරන ලදී.

ඉදිරිපත් වූ සාක්ෂි අනුව මරණය පිළිබඳ විවෘත තීන්දුවක් ලබා දුන් අතර සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රස පරීක්ෂකවරයා වෙත යවන ලදී. එහිදී මියගිය සෙබළාගේ මව වන ලක්ෂ්මී (50) මහත්මිය හඬා වැටෙමින් පැවසුවේ පුතාට මෙහෙම උනේ ඇයි. මට හැමදාම දවසට හතර පාරක්වත් කතා කරනවා. පුතා පොඩි කාලේ මහණ වෙලා හිටියේ. ඊට පස්සේ උපැවිදි වෙලා ගෙදර ඇවිත් ඉස්කෝලෙ ගියා. අවුරුදු 18 සම්පූර්ණ වෙන කොටම එයාට ආසාව තිබුණා හමුදාවට බැඳෙන්න.

කෑම්ප් එකෙත් බුදුන් වඳින්න මල් කඩන්නෙ පුතා කියලා අපිට කියලා තියෙනවා. ඒ දේවල් කළේ පුදුම ආසාවකින්. පුතාට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නෑ.

පුතා දැනට අවුරුද්දකට පෙර විවාහ වුණා, දරුවන් නෑ යැයි හඬා වැටෙමින් මව පැවසීය.( 27 ) දින රාත්‍රියේ යුද හමුදා කඳවුරේ මිය ගිය සෙබළාගේ මිත්‍රයෙකු නිවාඩු ගොස් පැමිණ නිවසින් රැගෙන විත් තිබූ කෑම පාර්සලයක් සෙබළු සිව් දෙනකු සමග (බිලට්) එකේදී කා රාත්‍රී 9.30 පමණ නිදා ගැනීම සඳහා ඔහුගේ කාමරය වෙත ගොස් ඇතැයි සෙබළු සිව්දෙනා සාක්ෂි දෙමින් පවසා ඇත.පසුදින (28) ඉරිදා ශාරීරික අභ්‍යාස පෙළපාළියට පෙනී නොසිටි බැවින් නිලධාරීන් ඔහු පිළිබඳව සොයාබලා ඇති අතර ඔහුව හමු වී නොමැත. අධිකරණ වෛද්‍ය නිලධාරිතුමා තීන්දුව දීමෙන් පසුව යුද හමුදා පොලිසිය මගින් (CCMP) පියාගෙන් මරණ පරීක්ෂණය පිළිබඳව ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින අතරතුර මරණය පිළිබඳව සැකයක් ඇත්දැයි ඇසූ විට පියා විසින් ප්‍රකාශ කර ඇත්තේ මරණය පිළිබඳව තවමත් සැක පවතින බවයි.