අවිස්සාවේල්ල - කොළඹ මාර්ගය ආසන්නයේ වනගොඩ ප්‍රදේශයේ පිහිටි පළතුරු අලෙවි සලකට පෙරේදා (31) පැමිණ අඹ මිලදී ගැනීමට යාමේ දී ඇති වූ බව කියන බහින්බස්වීමකින් පසු එම පළතුරු වෙළෙදසැලේ අයිතිකාරියට අඹ ගෙඩිවලින් සහා පලතුරු මිලදර්ශකය සහිත බෝඩ් එකෙන් මහර දුන්නේ යැයි කියන සහකාර පොලිස් අධිකාරීවරයෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
පහර කෑමට ලක් වූ පලතුරු වෙළඳ සැලේ අයිතිකාරිය වූ 21 හැවිරිදි තරුණිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා සාලාව ග්‍රාමීය රෝහලට ඇතුළත් වී ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.
පොලිස් නිල ඇඳුමෙන් සැරසුණු උසස් පොලිස් නිලධාරියකු අඹ මිලදී ගැනීම සඳහා අවිස්සාවේල්ල කොළඹ මාර්ගයේ පිහිටි මෙම පළතුරු වෙළඳ සලට පෙරේද සවස පැමිණ ඇත.
මෙම උසස් පොලිස් නිලධාරියා අඹ මිලදී ගැනීමට යෑමේදී එම පලතුරු වෙළඳ සලේ අයිතිකාරිය වූ තරුණිය සමග බහින් බස් වීමක් ඇති කරගෙන ඇතැයි පොලිසිය පවසයි.
බහින් බස්වීම සිදුවන අතරවාරයේ මෙම උසස් පොලිස් නිලධාරියා විකිණීමට තිබූ අඹ ගෙඩි අතට ගෙන ඒවායින් ද මිල දර්ශකය ප්‍රදර්ශනය කර තිබූ බෝඩ් එකෙන්ද පලතුරු වෙළඳසලේ අයිතිකාරියට පහරදී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අඹ මිල ගණන් වැඩි යැයි කියමින් මෙම බහින් බස් වීම සිදු වී ඇති බවද පැවසේ.
පහර කෑමට ලක් වූ පලතුරු වෙළඳ සලේ අයිතිකාර තරුණිය මේ බව හංවැල්ල පොලිසියට පැමිණිලි කරනු ලැබුවාය.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
0 Comments