marikkar-speaks

විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවත්, එය සිදු කළ යුත්තේ මෙම වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසුව බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්.මරික්කාර් මහතා පැවසීය. කොළඹ විපක්ෂනායක කාර්යාලයේ ඊයේ (12දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.



එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

"ජනාධිපතිවරයා පරදින්න ඡන්දය ඉල්ලන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ මහතා දෙවතාවක් පැරැද්දුවා. 2010 දී ජනාධිපතිවරණයට වෙනත් අශ්වයෙක් ගෙනත් දැම්මා. 2015 දීත් ජනාධිපතිවරණයට වෙනත් අශ්වයෙක් ගෙනත් දැම්මා, මේ පාර ජනාධිපතිධුරය රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණේ පිනට, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහජනතාව සිටින රැස්වීම්වලට යන්නේ නෑ, ඔහු යන්නේ රාජ්‍ය නිලධාරීන් සිටින උත්සවවලට. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහජන රැළිවලට යන්න බයයි.

විධායක ජනාධිපතිධුරය අහෝසි කළ යුතුයි. නමුත් විධායක ජනාධිපතිධුරය අහෝසි කළ යුත්තේ 2024 ජනාධිපතිවරණයෙන් පසුව. රනිල් වික්‍රමසිංහ මහත්මයාට සහ පොහොට්ටුවට බලයේ රැඳි සිටින්න පුළුවන් ආකාරයට මැතිවරණය කල්දාන්න විධායක ජනාධිපතිධුරය අහෝසි කරන වැඩපිළිවෙළට සමගි ප්ත බලවේගය සහාය ලබාදෙන්නේ නෑ.

රාජ්‍ය නොවන සංවිධාන විධායක ජනාධිපතිධුරය ගැන කතා කරනවා. නමුත් ඔවුන් බඳු බර අඩුකරන්න කියලා කතා කළේ නෑ, ගෙවල් ලක්ෂ 9ක විදුලිය විසන්ධි කරන අවස්ථාවේ වචනයක් කතා කළේ නෑ. ළමයි හාමතේ ඉන්න එක ගැන වචනයක් කතා කළේ නෑ. විධායක ජනාධිපතිධුරය අහොසි කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබිය යුතුයි. නමුත් පාර්ලිමේන්තුවට තුනෙන් දෙකක බලයක් නෑ. රට ලේ විලක් වන අර්බුදය වළක්වා ගන්න ජනාතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට අවස්ථාව ලබාදෙන්න. ඒ අවස්ථාව ලබාදීලා ජනතාව තීන්දු කරන ආකාරයට තීන්දු ගන්න පුළුවන්.”


දිනේෂ් සමරකෝන්