මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළෙදසලක සේවිකාවකට වෙඩි තබා, මුදල්  පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්කෝටිපති ව්‍යාපාරිකයන් තිදෙනකු ඇතුළු පස් දෙනකු පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට හෝමාගම වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රියංගා මද්දුමපටබැඳි මෙනවිය ඊයේ (18 වැනිදා) අවසර දුන්නාය. කෝටිපති ව්‍යාපාරිකයන් වන, තිස්සමහරාම යෝධ කණ්ඩිය පදිංචිකරුවකු වන නිහාල් විජේසිංහ වැලි පොතේත්වෙල, ඉඹුල්ගොඩ ඉහළ ඉඹුල්ගොඩ පදිංචිකරුවකු වන දිලාන් සංජීව තෙන්නකෝන්, කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන

සෙනරත් ආරච්චිගේ සිසිර කුමාර සහ යුද හමුදාවෙන් පලා ගිය සෙබළකු වන තිස්සමහාරාම යෝධකණ්ඩිය උල්පත පදිංචිකරුවකු වන බැද්දේ කම්කානන්ගේ දිමුතු නිරෝෂන්, පැදිකරු ලෙස කටයුතු කළ තිස්ස මහරාම කොහොඹ පැලැස්ස අනුරා හැන්දිගේ සුජිත් කුමාර නමැති සැකකරුවන් පස් දෙනා රදවාගෙන ප්‍රශ්න කිරීමට මෙසේ අවසර ලැබිණි.වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි, බස්නාහිර දකුණු දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් පරිදි, මීගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්ත මහතාගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් කොල්ලකෑමට යොදාගත් යතුරුපැදිය කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ තිබී සොයාගනු ලැබීය.



අත්අඩංගුවට ගත් පිරිස අතර වෙඩික්කරුට සහ පැදිකරුට නවාතැන් පහසුකම් දුන් ඉඹුල්ගොඩ ඉහළ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙක්ද වෙයි. කොල්ලය මෙහෙය වූ ප්‍රධාන සැලසුම්කාර කෝටිපති ව්‍යාපාරිකයා, වෙඩික්කරු සහ පැදිකරු තිස්සමහාරාම ප්‍රදේශයේදී ද, වෙඩි තැබීම සඳහා යොදාගත් ගිනි අවිය කඩවත කිරිල්ලවල අවන්හලක බටයක සඟවා තිබියදී ද අත්අඩංගුවට ගෙන ඇත. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

මෙම කොල්ලකෑම විමර්ශනය කළ පොලිස් කණ්ඩායම් ආරක්‍ෂිත කැමරා පද්ධති 150කට ආසන්න සංඛ්‍යාවක් අධීක්ෂණයට ලක් කර ඇත.කොල්ලකෑම සැලසුම් කර ඇත්තේ තිස්සමහාරාම ප්‍රදේශයේ මහා පරිමාණ ඇඹරුම්හලක අයිතිකරුවකු වන කෝටිපති ව්‍යාපාරිකයකු බවත්, එම සැකකරු කඩවත කිරිල්ල වල ප්‍රදේශයේ සහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ අවන්හල් පවත්වාගෙන යන කෝටිපති ව්‍යාපාරිකයන් දෙදෙනා හා එක්ව කොල්ලකරුවන් දෙදෙනාට නවාතැන් සහ ආරක්ෂාව ලබා දී ඇති බවත් කියති. කොල්ල කෑම් වලින් ලැබෙන මුදල් පිරිස අතර බෙදාගෙන ඇති බව ද

මීගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්ත මහතා පැවැසීය.

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළෙඳාමේ නිරත ව්‍යාපාරිකයකුට මෙයට මාස කිහිපයකට පෙර මිරිස් කුඩු ගසා, රුපියල් ලක්ෂ 40ක කොල්ලය කර ඇත්තේ ද අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් බවට එම සැකකරුවන් පාපොච්චාරණ කර ඇතැයි ද ඔහු පැවැසීය. එසේම, මීගොඩ, පූගොඩ, මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය සහ කඩවත ආදී ප්‍රදේශවල කර ඇති කොල්ලකෑම් ගණනාවක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇතැයි ද පොලිසිය පවසයි.
  කේ. බුද්ධික කුමාරසිරි