මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග අලෙවි ස්ථානයකට ඊයේ (12) අලුයම කඩා වැදී මුදල් කොල්ලකා මුදල් අයකැමිවරියට වෙඩි තබා පලා ගිය කොල්ලකරුවන් ගමන්කර ඇති යතුරුපැදිය මඩකලපුවේ පුද්ගලයකුගේ නමින් ලියාපදිංචිකර ඇති රාජගිරියේ පිහිටි මූල්‍ය ආයතනයකින් කල්බදු ක්‍රමයට මිලදීගත් එකක් බවට තොරතුරු හෙළිවී තිබේ.
සැබෑ ලෙසම කොල්ලකරුවන් ගමන් ගත්තේ එම යතුරු පැදියෙන්ද එසේත් නොමැති නම් එම අංකය යෙදූ යතුරු පැදියක් මේ සඳහා භාවිතකර තිබේදැයි කියා විමර්ශන පැවැත්වෙන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
මෙම කොල්ලය සිදුකර ඇත්තේ සැළසුම් සහගතව බවට සැකකරන බවත් අහඹු
ලෙස මෙම වෙළෙඳසලට කොල්ලකරුවන් කඩා වැදී නැති බවත් පොලිසිය විශ්වාස
කරයි. එම සැකය මතුව ඇත්තේ වෙනදාට මෙම වෙළෙඳසලේ හිමිකරු මෙන්ම ඔහුගේ
සහෝදරයා රැඳී සිටියත් මළ ගෙදරකට ඔවුන් දෙදෙනාම ගොස් සිටි බැවින් එදින
වෙළඳසලේ රැඳී සිට ඇත්තේ වෙඩි වැදීමට ලක්වූ අයකැමිවරිය සහ සේවකයකු
පමණක් වන බැවිනි.
මුදල් අයකැමිවරිය සහ සේවකයෙක් පමණක් වෙළඳසලේ සිටින බව දැනගෙන මෙම වෙළඳ සැලට මුදල් කොල්ලකෑමට පැමිණ ඇති බව පෙනී යන බව ද පොලිසිය කියයි. මෙම කොල්ලය සිදුවන විට වෙළඳ සැලේ දෛනික කටයුතු අවසන්ව එය වසා දැමීම සඳහා හිමිකරුට මුදල් අයකැමිවරිය දුරකථන ඇමතුමක් ලබා දී ඇති බවත් එම ඇමතුම ලබා දී විනාඩි දෙක තුනක් යන්නට මත්තෙන් කොල්ලකරුවන් එහි කඩා වැදී ඇති බවත් විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.
ආර්ථික මධ්‍යස්ථාන භූමියට අලුත්ම වර්ගයේ යතුරු පැදියකින් පැමිණ ඇති කොල්ලකරුවන් දෙදෙනා කිසිදු බියක් නොමැතිව යතුරුපැදියෙන් බැස ඇත්තේ රිපීටර් ෂෙට්ගන් වර්ගයේ ගිනි අවියක් පසුපැදිකරු අත දරාගෙනය. යතුරු පැදිය පණ ගන්වා තිබියදීම ඉන් බැස ගන්නා ඔවුන් දෙදෙනා ගිනි අවිය අමෝරාගෙන වෙළඳ සැලට ඇතුළු වී ඇති බවත් යතුරුපැදිය පදවාගෙන පැමිණි පුද්ගලයා විසින් වෙළඳ සැළ තුළටම ගොස් ලාච්චුවේ තිබූ මුදල් බෑගයකට දමාගෙන ඇති බවත් පොලිසිය කියයි. මේ හැම දෙයක්ම ආරක්ෂක කැමරාවලද පැහැදිලිවම සටහන්ව තිබී ඇත.
මුදල් අයකැමිවරිය මුදල් කොල්ලකෑමට ඉඩ නොදී කෑ ගසා ඇතත් ඇයට තනිවම කොල්ලකරුවන් සමඟ සටන්කිරීමට හැකියාවක් ලැබී නැත. ඒ වන විට දෛනික තොග ගනු-දෙනු අවසන්කර වෙළඳ සැල වසා දැමීමට සූදානමින් සිට ඇත. එබැවින් මුදල්ද සැලකිය යුතු ප්‍රමාණයක් එහි තිබී ඇතැයි පොලිසිය කියයි. ඒ සියල්ලක්ම කොල්කකරුවන් විසින් රැගෙන ගොස් ඇත.
මෙහිදී කොල්ලකෑමට හැකියාව ලැබී ඇත්තේ රුපියල් හතලිස් පන්දහසක මුදලක් පමණක් බව මීගොඩ පොලිසිය කියයි. එහෙත් කොල්ලකරුවන් මෙම වෙළෙඳ සැලට ඇතුළුවී මුදල් කොල්ලය සිදු කරන විට ලක්ෂ තිහකට වැඩි මුදලක් එහි තිබී ඇති බවද පොලිසිය සඳහන් කළේය. දෛනික ගනු-දෙනුවලින් උපයා ගත් මුදල මුදල් අයකැමිවරිය විසින් ආරක්ෂාවට තබා ඇත්තේ මුදල් බහාලන ලාච්චුවේ නොව ඊට පහළින් ඇති කබට්ටුවේ බව පොලිසිය කියයි.
කොල්ලකරුවන් වෙළෙඳ සැලට පැමිණ උඩ ලාච්චුව විවිර කර එහි තිබූ
මුදල් කොල්ල කන විට මුදල් අයකැමිවරිය විසින් පහල කබට්ටුව අගුලුලා
යතුර ඇය අත තිබීම නිසා එම මුදල් තොගය රැකී තිබෙන බව පොලිසිය සඳහන් කළේය. ඒ
අනුව කොල්ලකරුවන්ට කොල්ලකා රැගෙන යාමට සිදුව ඇත්තේ උඩ ලාච්චුවේ තිබූ
රුපියල් හතලිස්පන්දහසක පමණ මුදලක් බවද පොලිසිය සඳහන්
කළේය.පත්තුවුණු වෙඩිල්ලේ කැට තුනක් මුදල් අයකැමිවරියගේ උදරයට වැදී
ඇති බවත් කැට 06ක් වෙළඳ සැලේ දොරෙහි යකඩ දාරයේ වැදී තිබෙන බවත් පොලිසිය
සඳහන් කළේය.
කොල්ලකරුවන් පළාගොස් ඇත්තේ දාම්පේ බොරුකැටිය මාර්ගය ඔස්සේ බව විමර්ශනයේ දී අනාවරණය වී ඇත. කොල්ලකරුවන් පළාගිය මඟ ඔස්සේ පොලිස් කණ්ඩායමක් විමර්ශන ආරම්භකර තිබේ.
මෙහි දී වෙඩි වැදුණු මුදල් අයකැමිවරිය වන මීගොඩ බද්දේගෙදර පදිංචිකාරියක් වන හංසනී දිල්හානි ගුණසේකර(23) හෝමාගම රෝහලට ඇතුළත්කර ඇත. ඇගේ උදරයට වැදී ඇති ගිනි අවියෙන් නිකුත් වූ කැට 03 ඉවත් කිරීමට ශල්‍ය කර්මයක් කිරීමට නියමිතව තිබුණි.
මෙම ආර්ථික මධ්‍යස්ථානයේ ආරක්ෂාවට පොලිස් මුරපොලක්ද ස්ථාපිතකර තිබී ඇත. ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් පවසනුයේ මෙදින ආර්ථික මධ්‍යස්ථානයේ ආරක්ෂාවට කිසිදු නිලධාරියෙක් ආර්ථික මධ්‍යස්ථානය තුළ රැඳී නොසිටි බවය.
කොල්ලකරුවන් වෙළඳ සැල කොල්ලකා වෙඩි තබා පළායන විට ආර්ථික මධස්ථානයේ සේවකයන් හා වෙළඳුන් කෑකෝ ගසා ඇතත් පොලිසියෙන් ඊටද ප්‍රතිචාරයක් ලැබී තිබී නැත. පොලිසිය ඒ අවස්ථාවේ දී සක්‍රීයව සිටියේ නම් කොල්ලකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබුණු බව වෙළෙන්දෝ පවසති. වෙඩි තැබීමෙන් පසු විශාල ඝෝෂාවක් පවා ආර්ථික මධ්‍යස්ථානය තුළ තිබී ඇතත් පොලිසිය ඒ ගැන පවා කිසිදු අවධානයක් යොමුකර නැති බවට වෙළඳුන් චෝදනා කරති.
මීගොඩ ආර්ථික මධ්‍යස්ථාන සුබසාධක වෙළඳ සංගමයේ ලේකම් පී.වී.ආර්. චමින්ද මහතා සඳහන් කරනු ලබන්නේ මෙම සිදුවීම වන විට කිසිදු පොලිස් නිලධාරියෙක් ආර්ථික මධ්‍යස්ථානයේ නොසිටි බවය.
මුරපොල වෙත ගොස් නිලධාරීන්ව ඇහැරවා ඔවුන් නිල ඇදුම් ඇඳගෙන
පැමිණෙන තුරු විනාඩි 30ක පමණ කාලයක් රැඳී සිටීමට සිදුවූ බව චමින්ද මහතා
සඳහන් කරයි.
ආර්ථික මධ්‍යස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන් ආර්ථික මධ්‍යස්ථානයේ ආරක්ෂක රාජකාරියේ නොමැති බව සහ පොලිසිය නිදාගෙන සිටින බව හොඳහැටි දැනගෙන මෙම කොල්ලය සිදුකර ඇතැයි සැකයක් මේ වන විටත් මතුව තිබේ. එසේම මෙම කොල්ලය සිදුකර ඇති අය ආර්ථික මධ්‍යස්ථානය සහ ඒ අවට මාර්ග ගැන හොඳ අවබෝධයක් ඇතිව මේ සඳහා සහභාගිවී ඇති බව පෙනී යන්නේ යැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. කොල්ලකරුවන් පලාගිය මාර්ගය හඳුනාගෙන කිලෝමීටර් 3කට වැඩි දුරක් ඊයේ සවස් වන විට විමර්ශන නිලධාරීන් ගමන්කරමින් තොරතුරු රැස්කරගෙන තිබුණි.
මේ අතර මීගොඩ ආර්ථික මධ්‍යස්ථාන පොලිස් මුරපොලට අනුයුක්තව රාජකාරි
කළ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් 6 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන
පරිදි වෙනත් පොලිස් ස්ථානවලට මාරු කර යැවීමට පියවර ගත් බව නුගෝගොඩ
කොට්ඨාසයේ නිලධාරියෙකු පැවසීය. රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් ඔවුන්ට
එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරන බවත් එම මුරපොලට නව නිලධාරීන්
කණ්ඩායමක් වහාම අනුයුක්ත කරන බවත් හෙතෙම කීවේය.
(ගයාන් කුමාර වීරසිංහ, මීගොඩ - බී. කේ. කත්‍රීආරච්චි, පාදුක්ක - රෙක්සි වෙත්තසිංහ, නවගමුව සමූහ - සුගත් ප්‍රේමතිලක)
0 Comments