nileka-jewellary-robbery

මාතර නිලේකා ස්වර්ණාභරණහල කොල්ලකෑම සඳහා පැමිණ, පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ පුද්ගලයෙකු වසර හයකට පසු අත්අඩංගුවට ගැනීමට ගාල්ල අපරාධ කොට්ඨාසය සමත් වී ඇත.

කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ බලපිටිය, මාදූව ප්‍රදේශයේදී ය.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ මොහු ඒ සම්බන්ධයෙන් වරෙන්තු පිට සිට ඇතැයි විමර්ශන නිලධාරීහු කීහ.



2018 වසරේ ජූනි මස 22 වන දා යතුරුපැදිවලින් පැමිණි කොල්ලකරුවන් මාතර නගරයේ පිහිටි මෙම ස්වර්ණාභරණ හල කොල්ලකෑ අතර එතැන සිටි පුද්ගලයෙකු 119 හදිසි ඇමැතුම් අංශයට දෙන ලද ඇමැතුමකට අනුව පොලිස් කණ්ඩායමක් ද සිද්ධිය වූ තැනට පැමිණ තිබිණි.

එහිදී කොල්ලකරුවන් පළා යාමට උත්සුක වී ඇති අතර පොලිසිය සහ කොල්ලකරුවන් අතර වෙඩි හුවමාරුවක් ඒ මොහොතේ ඇති වී තිබූ අතර ඉන් බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්විය.



කොස්ගොඩ තාරක නමැති සංවිධානාත්මක අපරාධකරු මෙම කොල්ලය මෙහෙයවා තිබේ.

සහකාර පොලිස් අධිකාරි වෙත්තසිංහ මහතාගේ උපදෙස් මත ගාල්ල අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වයි.

(කීර්ති මෙන්ඩිස්)