ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාලය වෙනත් ස්ථානයකට ගෙන ගොස් එම ගොඩනැගිල්ල පෞද්ගලික අංශයට පැවරීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (07) දැනුම් දුන්නේය.ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පෞද්ගලික පෞද්ගලික අංශයට පැවරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි නීතිඥ උචිත එස්. බණ්ඩාර මහතා ඉල්ලා සිටි අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෲ මහතා එසේ දැනුම් දුන්නේය.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන එස්. යූ.බී. කරලියද්ද සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.සමාජ ක්‍රියාකාරිකයකු වන නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි කහදගමගේ පියසේන මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, එම අමාත්‍යංශයේ ලේකම්වරයා, සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු, තැපැල්පතිවරයා, පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක නාගරික සංවර්ධන අධිකාරිය සහ එහි නිලධාරීහු ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
සමාජ ක්‍රියාකාරිකයකු වන කහදගමගේ පියසේන මහතා මෙම පෙත්සම ඉදිරිපත් කරමින් බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේ ඉදිකෙරුණු නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ලෝප්‍රකට සංචාරක ස්මාරකයක් වශයෙන් ප්‍රචලිත යැයි සඳහන් කළේය.
නුවරඑළියට පැමිණෙන සංචාරකයන්ගේ දැඩි අවධානයට පාත්‍ර වී ඇති මෙම තැපැල් කාර්යාල ගොඩනැගිල්ල වෙනත් කටයුත්තක් සඳහා පැවරීමෙන් පුංචි එංගලන්තය ලෙස ප්‍රකට නුවරඑළියේ අනන්‍යතාවට වගඋත්තරකරුවන් අත්තනෝමතික ලෙස පැහැර ගන්නා බව පෙන්වා දෙන පෙත්සම්කරු සංචාරක හෝටලයක් පවත්වාගෙන යෑම සඳහා මෙම ගොඩනැගිල්ල ඉන්දියානු ව්‍යාපාරිකයකුට පැවරීමේ සූදානමක් ඇති බවට තොරතුරු හෙළි වී ඇතැයි පෙත්සමේ සඳහන් කළේය.
පුරාවිද්‍යා පනත යටතේ 2007 පෙබරවාරි 23 වැනිදා අදාළ තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවත් ඒ අනුව පුරාවිද්‍යා වටිනාකමක් සහිත මෙම ස්ථානය වෙනත් ක්‍රියාවක් සඳහා යෙදවීමට පුරාවිද්‍යා පනත යටතේ හැකියාවක් නොමැති බවත් එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි ක්‍රියාවක් බවත් පෙන්වා දෙන පෙත්සම්කරු ඓතිහාසික වටිනාකමක් සහිත තැපැල් කාර්යාල ගොඩනැගිල්ල වෙනත් ක්‍රියාවක් සඳහා යෙදවීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටී.පුරාවිද්‍යා පනත යටතේ පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස සංරක්ෂණය කර ඇති මෙම තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සුරක්ෂිත කිරීමට පුරාවිද්‍යා අධ්යක්ෂ ජෙනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කරු අධිකරණයෙන් අයැද සිටී.
පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උචිත එස්. බණ්ඩාර මහතා කරුණු දක්වමින් අදාළ තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පෞද්ගලික අංශයට පැවරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නුවරඑළියට පැමිණි අවස්ථාවේදීද අදහස් පළකර තිබූ බවත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදීත් මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්කළ බවත් පැවසීය.මෙම තත්වය යටතේ ඉංග්‍රීසි පාලන සමයේ ඉදිකර ඇති ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාලය ඕනෑම මොහොතක පෞද්ගලික අංශයට පැවරීමේ අවදානමක් මතුව ඇතැයි අනතුරු ඇඟවූ නීතිඥ උචිත එස්. බණ්ඩාර මහතාඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පෞද්ගලික අංශයට පැවරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෲ මහතා අධිකරණය අමතමින් අදාළ තැපැල් කාර්යාලය පෞද්ගලික අංශයට පැවරීම සඳහා මෙතෙක් තීරණයක් ගෙන නැතැයි කීය.වගඋත්තරකරුවන් වශයෙන් නම් කර ඇති නුවරඑළිය නගරාධිපතිවරයා සහ නුවරඑළිය නාගරික කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට තමන්ට කල් දෙන්නැයි ඉල්ලා සිටියේය. කරුණු සළකා බැලීමෙන් අනතුරුව එම ඉල්ලීම පිළිගත් අධිකරණය අදාළ පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු 6 වැනිදා කැඳවීමට නියම කළේය.
රංජන් කටුගම්පොළ
0 Comments