online-act-issues

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගෙන ඒමේදී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නිර්දේශ 9ක් නොසලකා හරිමින් කතානායකවරයා ක්‍රියා කර ඇති බැවින්, ඔහු පිළිබඳව විශ්වාසභංගයකට යාමට ඉදිරියේදී සිදු විය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.කතානායකවරයා සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොමැති බවත්, ඔහුගේ අනීතික ව්‍යවස්ථා විරෝධී වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නිර්දේශ කොටසක් මගහරිමින් දේශපාලන නායකයන් ආරක්ෂා කරන පනතට කතානායකවරයා අනුමැතිය දුන් බව ‘ජවය’ ගාල්ල දිස්ත්‍රික් පළාත් පාලන අපේක්ෂක හමුවට එක්වෙමින් ඔහු කීවේය.



සමගි ජන බලවේග නීතිඥ කණ්ඩායමක් පනත පිළිබඳ සිදු කළ විශ්ලේෂණයේදී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නිර්දේශ ස්ථාන 9කදී ක්‍රියාත්මක කර නොමැති බව අනාවරණය වූ බවත් විපක්ෂ නායකවරයා පැවැසීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123 (4) සඳහන් ආකාරයට ශ්‍රේෂ්ඨාධිකරණය දෙන නිර්දේශ පනත් කෙටුම්පත් වලට ඇතුළත් විය යුතු වුවත්, රජය එවැනි දෙයක් සිදු කර නොමැති බවත් ඔහු සඳහන් කළේය.

බාල බෙහෙත් සමාජයට නිකුත් කිරීමේ වරද ගැන හිටපු සෞඛ්‍ය ඇමැතිවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ආ අවස්ථාවේ ඔහු රැකීමට අත් ඉස්සූ 113ත් වගකිව යුතු බව ද විපක්ෂ නායකවරයා කීවේය.වසර ගණනාවක් අත්දැකීම් ඇති නිසා නිවැරැදි දේ තමා දන්නා බවත්, ජනතාව වෙනුවෙන් සේවය කරන්න බැරි නම් පක්ෂය හැරදා ගියාට තමා අමනාප නොවන බවත් විපක්ෂ නායකවරයා පැවැසීය.



පෞද්ගලික කාරණා කේන්ද්‍ර කරගෙන පුද්ගලයන් සම්බන්ධ කර නොගන්නා බවත්, එවැනි පෞද්ගලික කාරණා සම්බන්ධයෙන් සැලකිලිමත් වන්නේ පරිණත නොවන පුද්ගලයන් බවත් ඔහු සඳහන් කළේය. කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීන්දු තීරණ විවේචනය කරන අයට විරුද්ධව තරාතිරම නොබලා විනය පරීක්ෂණ පවත්වන බවත්, ඍජු තීන්දු ගැනීමේදී තමා කාටවත් බය නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කීවේය.

නිමල කොඩිතුවක්කු