සිර මැදිරිවල රඳවා සිටින සැකකරුවන්ට පිටස්තර පුද්ගලයන් රැගෙන එන ආහාර කිසිදු හේතුවක් මත ලබා නොදිය යුතු බව කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පොලිස් පණිවිඩයක් නිකුත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ආදුරුප්පු වීදියේ පොලීසියේ සිර මැදිරිය තුළ රඳවා සිටි සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුට ආගන්තුක පුද්ගලයකු උගු වස මිශ්‍ර කිරි ලබාදීමේ සිද්ධියත් සමග මෙම පොලිස් පණිවිඩය නිකුත් කර ඇත. කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නෙරන්ජන් අබේවර්ධන මහතාගේ අත්සනින් යුත් පොලිස් පණිවිඩය කොළඹ දකුණ කොට්ඨාසයට අයත් නාරාහේන්පිට, කිරුළපන, බම්බලපිටිය. කොල්ලුපිටිය, වැල්ලවත්ත, බොරැල්ල හා කුරුදුවත්ත පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත ලිඛිතව දැනුම් දී ඇතැයි ද සැකකරුවන්ට භෝජනාගාරයේ ආහාර පමණක් ලබා දිය යුතු බවට නිර්දේශ කර ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.එම පොලිස් පණිවිඩය කාර්යභාර නිලධාරීන් හා උපසේවා නිලධාරීන් මගින් අනෙකුත් නිලධාරීන් වෙතද දැනුම් දෙන ලෙස වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.
මේ අතර, ආදුරුප්පුවීදිය, ජින්තුපිටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකට සම්බන්ධ රැදවුම් නියෝග මත සිටි ප්‍රධාන සැකකරු, ඔත්තු ලබා දුන් පුද්ගලයා හා පොලීස් සිර මැදිරියේ රඳවා සිටියදී උග්‍ර වස වර්ගයක් මිශ්‍රකර කිරි තේ ලබා දුන් ආගන්තුක පුද්ගලයා සීසිටීවී දර්ශන මගින් නිශ්චිත ලෙස හදුනාගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
කිරි පැකට් බී අසනීප වූ මේ සැකකරුවන් දෙදෙනාම සියයට අසූවක පමණ ප්‍රමාණයක් සුවය ලබා ඇති බවත්, බොහෝවිට වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත සාමාන්‍ය වාට්ටු කරා මාරු කිරීමේ හැකියාව ඇති බවත් පොලිස් නිලධාරියා පැවසීය. ඉකුත් 24 වෙනිදින ජින්තුපිටියේ වෙඩි තැබීම පූකුඩු කන්නාගේ කල්ලිය විසින් සිදුකර තිබූ බවත්, එහිදී ඝාතනයට ලක්වූයේ කුඩු සෙල්වී නැමැත්තියගේ පුතුන් මෙහෙයවන කණ්ඩායමේ අයෙකු බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පූකුඩු කණ්ණාගේ කණ්ඩායමේ සාමාජිකයන් බැවින් කුඩු සෙල්වි නමැත්තියගේ පුතුන් මෙහෙයවන කල්ලිය විසින් ඔවුන් ඝාතනය කිරීම සදහා වස මිශ්‍ර කිරි තේ ලබා දෙන්නට ඇති බව පොලීසිය සැක කරයි.
ඒ සම්බන්ධයෙන් හදුනාගෙන තිබෙන පුද්ගලයා මෙම කල්ලි දෙකේම සාමාජිකයකු ලෙස පෙනී සිටින අයෙකු බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියා කීය.
එමෙන්ම,මෙම සිද්ධියට අදාළව ආදුරුප්පු වීදිය පොලිස් ස්ථානයේ නිලධාරීන් තිදෙනෙකු වැඩ තහනමට ලක්කර තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි. එම සිද්ධිය සිදුවන අවස්ථාවේ උපසේවා රාජකාරියේ යෙදි සිටි නිලධාරියා, ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි නිලධාරියා හා වැඩබලන ස්ථානාධීපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක වරයාගේ වැඩ තහනම් කර ඇත.
ඉන්දික හේවාවිතාරණ / බිමල් ශ්‍යාමන් ජයසිංහ
0 Comments