police-fined

පළිගැනීමක් ලෙස කොස්ගොඩ පොලිසියේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු වන පනාපිටිය මහතාට එරෙහිව බොරු නඩු පවරා ඔහුගේ වැඩ තහනම් කර ඔහුගේ බිරිද අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ 20ක මුදලක් සිය පෞද්ගලික මුදලින් ගෙවන ලෙසට අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට නියෝග කෙරිණි. ඊට අමතරව රුපියල් 25000ක වන්දි මුදලක් ගෙවන ලෙස ද රජයට නියෝග කෙරිණි.

මෙම සිද්ධියට වගකිව යුතු පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙසටද නියෝග කෙරිණි. එවකට අම්බලන්ගොඩ පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරයාව සිටි යූ.එම්. අමරසිරි,

එවකට කොස්ගොඩ පොලිසිය ස්ථානාධිපති මංගල ද සොයිසා අමරසේකර, එම පොලිසියේ අපරාධ අංශය භාර ස්ථානාධිපති අසේල ප්‍රේමනාත් ද සිල්වා සහ පොලිස් සැරයන් ඉන්දික ද සිල්වා යන මහත්වරුන්ට මෙම නියෝග නිකුත් කෙරිණි. මෙම සිද්ධියට අදාළ පොලිස් කොස්තාපල්වරයා සහ ඔහුගේ බිරිඳ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.ජනක් ද සිල්වා සහ ප්‍රීති පද්මන් සූරසේන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ එකගත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය. පෙත්සම්කරු කොස්ගොඩ පොලිසියේ සේවය කරමින් සිටියදී එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සම්බන්ධව විමර්ශනය නොකරන ලෙස වග උත්තරකාර පොලිස් නිලධාරීන් පිරිස

පෙත්සම්කරුට බලපෑම් කර ඇතත් පෙත්සම්කරු දිගින් දිගටම විමර්ශන කටයුතු සිදුකර ඇත. මේ හේතුවෙන් වග උත්තරකාර සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු පිරිස පෙත්සම්කරු සමග වෛර බැඳගෙන ඇත. තත්ත්වය මෙසේ තිබියදී 2021 නොවැම්බර් 2 වැනිදා පෙත්සම්කරුගේ නිවසට පැමිණි වගඋත්තකාර පොලිස් නිලධාරින් තම බිරිඳ හා මාස 9 ක් වයසැති දරුවා අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගොස් පැය 5ක පමණ කාලයක් රඳවාගෙන මත්ද්‍රව්‍ය භාවිතා කරන තැනැත්තකු බවට ඇයගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට උත්සාහ ගෙන ඇතැයි අනාවරණය විය.

ඉන් අනතුරුව වග උත්තරකාර පොලිස් නිලධාරීන් පෙත්සම්කරු මත්ද්‍රව්‍ය භාවිතා කරන තැනැත්තකු බවට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිලි කර වැඩ තහනමට ද ලක් කර ඇත.මේ අනුව රස පරීක්ෂක වාර්තාව කැඳවීමෙන් පසුව පෙත්සම්කරු මත්ද්‍රව්‍ය භාවිතා කරන තැනැත්තකු නොවන බවට කරුණු අනාවරණය වූ හෙයින් ඔහු නිදොස් කොට නිදහස් කෙරිණි.ඒ අනුව පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට රුපියල් ලක්ෂ 20 ක වන්දි මුදලක් සිය පෞද්ගලික මුදලින් ගෙවන ලෙසට වග උත්තරකාර පොලිස් නිලධාරීන්ට නියෝග කළේය.
‍රංජන් කටුගම්පල