postal-service-man-remand

විදුලි බිල්පත සදහා පාරිභෝගිකයකු ගෙවූ රුපියල් 99,000ක මුදලක් සහ පරිගණක රිසිට්පත ගෙදර ගෙන ගොස් වංචා කළේ යැයි කියන කොළඹ අලුත්කඩේ උසාව් තැපැල් කාරියාලයේ තැපැල් සේවා නිලධාරියකු ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (31) නියම කළේය.

උසාවි තැපැල් කාර්යාලයේ තැපැල් ස්ථානාධිපති සුභාෂිනි අතුකෝරල මහත්මිය කළ පැමිණිල්ලකට අනුව කෙසෙල්වත්ත පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ උසාවි තැපැල් කාර්යාලයේ තැපැල් සේවා නිලධාරියා වශයෙන් කටයුතු කළ රොෂාන් වසන්ත කුමාර නමැත්තා මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබීය.රජයේ සේවකයකුව සිටිමින් මුදල් වංචා කිරීම ඇතුළු සිද්ධි සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ කෙසෙල්වත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂක ආර්.එම්. කරුණාරත්න මහතා

සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ ගමන් බෑගයේ තිබී මුදල් ගෙවූ තවත් රිසිට්පත් තුනක් සොයා ගත් බව දැනුම් දුන්නේය.

සිලෝන් නිවාස සංකීර්ණයේ රුපියල් 99,350ක විදුලි බිල තැපැල් කාර්යාලයේ බිල්පත් ගෙවීම් අංශයට යොමු කර ඇති අතර, අදාළ මුදල ගෙවූ බවට සැකකරු රිසිට් පතක් ද නිකුත් කර ඇතැයි දැනුම් දුන් උප පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතා විදුලි බිල තැපැල් කාර්යාලයට ගෙවුවද විදුලි බිල අඩු වී නොමැති බව පවසමින් අදාළ රිසිට් පතද ඉදිරිපත් කරමින් තැපැල් ස්ථානාධිපති චරියට පැමිණිලි කර ඇති අතර ඇය අදාළ පැමිණිල්ල නියෝජ්‍ය තැපැල්පතිවරයා වෙත යොමු කර ඇතැයිද දැනුම් දුන්නාය.

මෙම විදුලි බිල පසුගිය 10 වැනිදා ගෙවීමෙන් පසු සැකකරු රිසිට්පතක් නිකුත් කර ඇතැයිද පසුව බිල්පත් ගෙවූ බව පරිගණක පද්ධතියට ඇතුළත් නොකර එම දත්ත පරිගණකයෙන් මකා දමා පරිගණක රිසිට් පත ද සිය බැගයේ දමාගෙන ගොස් ඇති බව විමර්ශන වලදී හෙළි වූ බව දැනුම් දුන් කරුණාරත්න මහතා සැකකරු රිමාන්ඩ් කරන්නැයි ඉල්ලා සිටියේය.සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් තම සේවාදායකයා අදාළ චෝදනා පිළිගන්නේ නැතැයි පැවැසීය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරු ලබන 13 වැනිදා දක්වා රක්ෂිත  බන්ධනාගාර ගත කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කරන ලෙස නියම කළේය.

රෝෂන් තුෂාර