බස්නාහිර පළාත ඇතුළු දිවයිනේ ප්රදේශ රැසක ඉතා කුඩා හිඟ බිල්පත්වලින් නිවාස දහස් ගණනක විදුලිය සැපයුම විසන්ධි කර ඇතැයි වාර්තා වේ.
කුඩා හිග බිල්පත් වලටත් විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් විදුලි පාරි භෝගිකයෝ විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති.
රටේ ආර්ථික තත්වය හේතුවෙන් හිඟ බිල්පත් වලටත් විදුලිය විසන්ධි කිරීම අන්ත අසාධාරණ තීරණයක් බව විදුලි පාරිභෝගිකයෝ පිරිසක් ලංකාදීපයට පැවසූහ.
නිවාස වලට විදුලිය කැපීමට පැමිණෙන ඇතැම් නිලධාරීන් දරදඬු ආකාරයට නිවැසියන් ආමන්ත්රණය කරමින් හැසිරෙන බවත් සමහරුන් විදුලිය නොකැපීමට අල්ලස් පවා ඉල්ලා සිටින බවත් ඔවුහු පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම දැඩිඅවධානයෙන් පසුවිය යුතු බවද පාරිභෝගිකයෝ ප්රකාශ කරති.
සමහර පාරිභෝගිකයන් විදුලිය විසන්ධි කිරීමට නිලධාරීන් පැමිණි අවස්ථාවන්හිදී ඒ මොහොතේම විදුලිය බිල් ගෙවා දැමීමට උත්සාහ දැරුවත් එම උත්සාහයන් ගණන් නොගෙන විදුලිය කපා දමා යන බවද කීයති.
ඉතා කුඩා නිඟ බිල්පත් වලටත් විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් යළි සම්බන්ධතාව ලබා ගැනීමට වරින් වර රුපියල් තුන්දහස බැගින් අමතර සේවා ගාස්තුවක් ගෙවීමට සිදුවීමෙන් තමන් දැඩි දුෂ්කරතාවයට පත්වන බවද විදුලි පාරිභෝගිකයෝ පෙන්වා දෙති.
සුජිත් හේවාජුලිගේ
0 Comments