power-cuts-without-notice

කිසිදු දැනුම් දීමකින් තොරව මේ වන විට යම් යම් ප්‍රදේශවල විදුලිය විසන්ධි වීම සිදුවන බව ව්‍යාපාරික ප්‍රජාව හා ජනතාව සඳහන් කරති.

විනාඩි 15ක් හෝ ඊට වැඩි කාලයක් මේ ආකාරයට විදුලිය විසන්ධි කිරීම සිදුකරන බවත් මේ නිසා ව්‍යාපාරික ස්ථානවල ශීතකරණ හා අධිශීතකරණ ක්‍රියාකාරීත්වය හා වායුසමනය කරන යන්ත්‍රවල ක්‍රියාකාරීත්වය නැවතී යන බවද එම පිරිස් පෙන්වා දෙති.

මීට අමතරව දැනට පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා නිවෙස් තුළ රැඳී සිටීමට විදුලි පංකා හා වායුසමනය කරන යන්ත්‍ර භාවිත කිර්ම සිදුවන අතර, විදුලිය විසන්ධි වන අවස්ථාවල අදාළ යන්ත්‍ර අක්‍රිය වීම නිසා කුඩා දරුවන් ඇතුළු පිරිස් දුෂ්කරතාවන්ට පත්ව තිබේ.



ඖෂධ හා අයිස්ක්‍රීම් ආශ්‍රිත නිෂ්පානදන අළෙවි කරන ස්ථානවල වරින් වර විදුලිය විසන්ධි වීම නිසා අධිශීතකරණවල ක්‍රියාකාරීත්වය අඛණ්ඩව තබා ගැනීම සඳහා විදුලිජනක යන්ත්‍ර භාවිත කිරීමටත් සිදුව තිබෙන බවද ව්‍යාපාරිකයෝ සඳහන් කරති.

පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා මේ වන විට දෛනික විදුලි ඉල්ලුම ගිගාවේට් පැය හතළිස් හතකට ආසන්න වෙමින් තිබෙන බවත් එහෙත් සාමාන්‍ය තත්ත්වයක් යටතේ සතියේ දිනක විදුලි ඉල්ලුම ගිගාවේට් පැය 40ත් 42ත් ප්‍රමාණයක් බවද විදුලිබල මණ්ඩල මාධ්‍ය අංශය පෙන්වා දෙයි.

මේ අනුව සතියේ දිනක විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 05කින් පමණ ඉහළ ගොස් තිබෙන බවත් සාමාන්‍යයෙන් සතිඅන්තයේ දිනක විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 38ක් බවත් එහෙත් පෙරේදා (24දා) දෛනික ව්දුලි ඉල්ලුම ගිගාවොට් පැය 42ක් වූ බවද විදුලිබල මණ්ඩල මාධ්‍ය අංශය සඳහන් කරයි.



තාප බලාගාරවලින් හා ජල විදුලි බලාගාර තුළින් හා පුනර්ජනනීය විදුලි නිෂ්පාදන ක්‍රම මගින් විදුලිය නිෂ්පාදන කර ගන්නා බවත් ජාතික පද්ධතියට අවශ්‍ය විදුලි ප්‍රමාණය නිෂ්පාදනය වන නිසා විදුලි කප්පාදුවක් සිදුනොකරන බවද පෙන්වා දෙයි.

එහෙත් පසුගිය කාලයේදී පැවැති උසස් පෙළ විභාගය නිසා සමහර ප්‍රදේශවල විදුලි නඩත්තු කිර්ම නවතා දමා තිබූ බවත් මේ නිසා ප්‍රාදේශීය වශයෙන් සිදුකරන විදුලි පද්ධති අලුත්වැඩියා කටයුතු කිරීම සඳහා මේ දිනවල විදුලි විසන්ධි කිරීම් සිදුවිය හැකි බවත් මීට අමතරව හදිසි බිඳවැටීම් නිසා විදුලි විසන්ධි වීම සිදුවිය හැකි බවද විදුලිබල මණ්ඩල මාධ්‍ය අංශය සඳහන් කරයි.

එච් අයි තුෂාර