ranil-speaks-in-parliament

9 වන පාර්ලිමේන්තුවේ 5 වන සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුයේ පසුගිය ජනවාරි මස 26වැනිදා 4 වැන්න අවසන් කළ නිසාය.
අද උදෑසන 9.45 ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීම සිදු වූ අතර ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩිමුර සහ රථ පෙළපාලි කිසිවක් නොපැවතිණි.
 පාසල් දැරියන් ජයමංගල ගාථා ගායනා කර ජනාධිපතිවරයා පිළිගත් අතර උදෑසන 10.25 පමණ
ජනාධිපතිවරයා සභාවේ මුලසුන දරා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ අතර එම අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජනබලවේගයේ අය සභාවෙන් පිටව යන්නට විය.
කෙසේ වෙතත් එම පක්ෂයේ 10 ක් පමණ තවදුරටත් සභාවේ රැඳී සිටීම විශේෂිත විය.
රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම, සරත් ෆොන්සේකා, ඉෂාක් රහුමාන්, වඩිවෙල් සුරේෂ්, ඒ.එච්.එම් ෆවුසි, ෆයිසල් කාසිම් ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දස දෙනෙකු මෙසේ සභා ගර්භයේ රැඳී සිටියහ.



මේ අතර විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල ඇතුළු උත්තර ලංකා සභාගයේ සාමාජිකයින් පිරිසද ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සිදුකරන අවස්ථාවේදී සභාගර්භයේ සිටියේ නැත.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද සභාගර්භයේ රැදී සිටියේ නැත.

කෙසේ වෙතත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය මහත්මිය පමණක් අද දින පැවැත්වෙන ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට සවන් දීමට සභාගර්භයේ රැඳී සිටියේ නායක අනුර කුමාර දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විදෙස්ගතව සිටි පසුබිමකයි.

එමෙන්ම පාර්ලිමේන්තුවේ මුල් අසුන් දරණ කැබිනට් මන්ත්‍රීවරුන් වන හරින් ප්‍රනාන්දු මහතා සහ මනූෂ නානායක්කාර මහත්වරුන් ද අද දින පාර්ලිමේන්තු සභාගර්භයේ නොසිටිමද කැපී පෙනිණි.

 9 වන පාර්ලිමේන්තුවේ 5 වන සභාවාරය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ මෙරට තුළ ක්‍රම වෙනසක් සිදු කළ යුතු බවටයි.

 සියලු දෙනාටම එකතු ‌වන ලෙසද ආරාධනා කරමින් ජනාධිපති අද පාර්ලිමේන්තුවේදී සිය කතාව කළේය.

“රට ගොඩනැඟීමට ආණ්ඩුව ආරම්භ කර ඇති වැඩපිළිවෙළ තවදුරටත් වේගවත් කළ හැක්කේ සියලුදෙනා සමගියෙන් ඒ සමඟ එක්වුවහොත් පමණක්“ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පදවි තානාන්තර පිළිබඳ සිහින මවන ඇතැමුන් තනතුරු වෙනුවෙන් රටට අසත්‍ය ප්‍රකාශ කරමින් සිටින බව ද පැවසීය.



යථාර්ථයට පිටුපා සිහින මාවතේ ගමන් කළහොත් යළි රට මහා අනතුරකට පත්වන බව අවධාරණය කළ ජනාධිපතිවරයා විවිධ පුද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් රට පිළිබඳ වගකීම පැහැර හැරියහොත් ඉතිහාසය විසින් අප ද්‍රෝහීන් ලෙස නම් කරනු ඇති බව ද පෙන්වා දුන්නේය.

තමා දැඩිව විවේචනය කළ පොදුජන පෙරමුණේ බහුතරය රටේ යහපත වෙනුවෙන් පැරණි එදිරිවාදිකම් පසකෙලා රට වෙනුවෙන් පොදු ගමනකට එකඟ වූවා නම් තමා සමඟ බොහෝ කලක් සමීපව කටයුතු කළ සමගි ජන බලවේගයට එසේ කළ නොහැක්කේ මන්දැයි ජනාධිපතිවරයා මෙහිදී විමසා සිටියේය.

උල්කාපාත වේගයකින් කඩා වැටුණු මෙරට ආර්ථිකය රොකට් වේගයකින් යළි ඔසවා තැබීමට ආණ්ඩුවට හැකි වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය ආණ්ඩුව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවත්, කඩා වැටුණු රටවල ආර්ථික ප්‍රතිසාධනය ඉතා දුෂ්කර හා වේදනාකාරී එකක් වුවත් වෙනත් රටවල මෙන් දීර්ඝ කාලීන දුෂ්කරතා සහ වේදනාවන්ගෙන් තොරව මෙරට ආර්ථිකය ප්‍රතිසාධනය කර ගැනීමට හැකි වූ බවද පෙන්වා දුන්නේය.

මම නැවතත් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ රට ගොඩනැංවීමේ සිහිනය සැබෑ කරගන්න එකට එකතු වෙන්න කියලයි. අපි එකට එකතුව සාකච්ඡා කරමු. අප මේ ක්‍රියාත්මක කරන පිළිවෙතට වඩා යහපත් විකල්ප ක්‍රමවේද ඇත්නම් ඒවා ඉදිරිපත් කරන්න. අපි ඒවා ගැන ගැඹුරින් සලකා බලමු. සාකච්ඡා කරමු. අපි එකට එක්වී සාකච්ඡා කර රටට වඩාත්ම යහපත් ක්‍රමවේදය ක්‍රියාත්මක කරමු. එවැනි සාකච්ඡාවන්ට අප නිරතුරුවම සූදානම්.

ඔබ එවැනි සාකච්ඡා මාලාවකට එකඟ නම්, ඒ සාකච්ඡා සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතනයන්හි ඉහළම පෙළේ නිලධාරීන්ට ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කරන්නත් මම සූදානම්.



මේ සභාව නියෝජනය කරන දේශපාලන පක්ෂ අතුරින් දශක ගණනාවක් තිස්සේ මාව තදින්ම විවේචනය කළ අය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන්නේ.

නමුත් රටේ යහපත වෙනුවෙන්, තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන් පොදුජන පෙරමුණේ බහුතරය පැරණි එදිරිවාදිකම් අමතක කළා. පොදු මතයකට එකඟ වුණා.

සමගි ජන බලවේගයේ ඉන්නේ මා සමඟ බොහෝ කාලයක් එකට දේශපාලනය කළ අය. මම දේශපාලනයට හඳුන්වා දුන් අයත් එහි ඉන්නවා. රට වෙනුවෙන් පොදු ගමනකට එකතු වෙන්න පොදුජන පෙරමුණට පුළුවන් වුණා නම් සමගි ජන බලවේගයට එහෙම කරන්න බැරි ඇයි.
ජනතා විමුක්ති පෙරමුණ යහපාලන ආණ්ඩුව සමයේ අපත් සමඟ සමීපව වැඩ කටයුතු කළා.

දූෂණ විරෝධී කාර්යාලය මෙහෙයවීම සඳහා ආනන්ද විජේපාල මහතාගේ නම යෝජනා කළෙත් දිසානායක මහතාමයි. ඒ කාර්යාලයේ ලිපිගොනු පිටපත් තවමත් අනුර දිසානායක මහතා ළඟ තිබෙනවා. ඉතින් රට වෙනුවෙන් පොදු ගමනකට එකතු වෙන්න ජනතා විමුක්ති පෙරමුණට බැරි ඇයි.

අපි මැතිවරණවලදී වෙන් වී තරග කරමු. ඒත් රට ගොඩනැංවීමේදී එකට එක් වී කටයුතු කරමු.
ඒ නිසා රට වෙනුවෙන් පොදු සිතිවිල්ලකට – පොදු එකඟතාවකට එක්වෙන්න කියා නැවත නැවතත් මම ඔබ සැමට ආරාධනා කරනවා. වෙනස අපෙන්ම පටන් ගනිමු. අපේ හදවත් නිවැරදි කර ගනිමු. අපි අපටම පහනක් වෙමු.

අපි අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරමු. තමන්ගේ පුද්ගලික සිහිනය වෙනුවෙන් නොව රටේ පොදු සිහිනය සැබෑ කරලීම වෙනුවෙන් කැප වෙමු. තරුණ පරපුරේ, ඊළඟ පරම්පරාවේ ජීවිත සුගන්ධවත් කරන්නට කැපවෙමු. අපට පැවරී ඇති මෙම වගකීම ඉටු කරමු. විවිධ පුද්ගලික ප්‍රශ්න සහ අභිමතාර්ථ නිසා මේ වගකීම පැහැර හැරියොත් ඉතිහාසය විසින් අප ද්‍රෝහීන් හැටියට නම් කරාවි. ඒ නිසා අපි අලුත් ගමනක් යමු. අලුත් හෙටක්, අලුත් රටක් නිර්මාණය කරමු.

එන්න. එකට එක්වී අපි හදමු අලුත් රටක්…!

ජනපතිවරයා කියා සිටියේය.