rantambe-incident

රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව සඳහා ඊයේ (21) පැමිණි සිසුවියකට කළ විහිළුවක් සම්බන්ධයෙන් පාසල් සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් 17 දෙනකු තුවාල ලබා මහියංගණය මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.


මෙසේ රෝහල් ගත කර ඇත්තේ, කුරුණෑගල සහ ගම්පහ ප්‍රදේශවල පාසල් සිසුන් පිරිසක් බවත්, සිද්ධියට සම්බන්ධ සිසුන්ගේ ශිෂ්‍ය භට පුහුණුව වසරකට තහනම් කර ඇති බවත් උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

කුරුණෑගල ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුවියකට ගම්පහ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුවකු විසින් කරන ලදැයි කියන විහිළුවක් දුරදිග යාමෙන් කුරුණෑගල ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් පැමිණ ඒ පිළිබඳව ගම්පහ පාසලේ සිසුන්ගෙන් විමසා ඇත.

එහි දී ඇති වූ බහින් බස්වීමක දී එක් සිසුවකුට කළ පහරදීම හේතුවෙන් සිසුන් දෙපිරිස අතර ගැටුමක් ඇතිවී තිබූ බවට අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කරයි.මෙම ශිෂ්‍ය භට පුහුණුව සඳහා කොළඹ, කුරුණෑගල, ගම්පහ ඇතුළු ප්‍රදේශ රැසකින් සිසුන් 800ක පමණ පිරිසක් සහභාගිවී ඇති බව ද එම නිලධාරියා කීය.තෙල්දෙණිය ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.එම්.ඩී.යූ. බී. පලිහවඩන මහතාගේ උපදෙස් පරිදි හසලක පොලිසිය මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වයි.

 රංජිත් කරුණාවීර