rohitha-speaks

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ කාන්තාවක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ සටහනක් හේතුවෙන් තමාගේ වරප්‍රසාද කඩ වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තවේදී පැවසීය.



 වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අබේගුණවර්ධන කියා සිටියේ තමා සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හොරු බවත් වහාම අත්අඩංගුවට ගත යුතු බවත් පවසමින් එම කාන්තාව අපහාසාත්මක සටහනක්  සමාජ මාධ්‍ය ගිණුමේ පළ කර ඇති බවයි.
තමාගේ වරප්‍රසාද මෙම පොස්ටුව නිසා උල්ලංඝණය වී ඇති බවත් එය තම ජීවිතයට තර්ජනයක් බවත් ඔහු කීය.

“මේ පෝස්ට් එක අපේ ජීවිතවලට තර්ජන ඇති කරන්න පුළුවන්. එය භයානක තත්ත්වයක්” යැයිද අදාළ කාන්තාව 2015 මහ මැතිවරණයට ඉදිරිපත් වී ඇති තනැත්තියක බව ඔහු දන්නා බවද ඔහු පැවසීය.



“අපි කිසිම වරදක් නොකළ විට අපට චෝදනා කිරීම වැරදියි. අපි වැරදි නම් අපිට චෝදනා කරන්න ජනතාවට අයිතියක් තියෙනවා. අසත්‍ය චෝදනා ඉදිරිපත් කිරීමෙන් මන්ත්‍රීවරුන්ගේ පමණක් නොව සියලුම පුරවැසියන්ගේ අයිතිවාසිකම් කඩ වෙනවා.”
මේ හේතුවෙන් මෙම කාන්තාව පාර්ලිමේන්තුවට කැදවා අවවාද කළ යුතු බව ඔහු කීය.