sanath-nishantha-court-case-closed
හදිසියේ මියගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව  ඔහු ජීවත්ව සිටියදී ගොනුකර තිබූ පෙත්සම් තුනක් ඉල්ලා අස්කර ගැනීමට අභියාචනාධිකරණය අද (20) අවසර ලබා දුන්නේ තවදුරටත් එය පවත්වාගෙන යාමට නොහැකි බැවිනි.

ඉකුත් 2022 වසරේ අගෝස්තු මස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී අරගලකරුවන්ට ඇප ලබාදීමේ දී මහේස්ත්‍රාත්වරු අනුගමනය කරනු ලබන ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ ප්‍රකාශයකින්



අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ඔහුට එරෙහිව ගොනුකළ පෙත්සම් තුනක්
අද (02) සෝභිත රාජකරණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අතර පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් වග උත්තරකාර සනත් නිශාන්ත මහතා මේ වන විට මියගොස් ඇති බැවින් මෙම පෙත්සම් පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බවත් ඒවා ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් ඉල්ලා තිබේ.


ඉල්ලීම පිළිගත් අධිකරණය අදාළ පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදුන්නේය.
ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ නීතිඥවරුන් දෙදෙනෙකු වන ප්‍රියලාල් සිරිසේන සහ විජිත කුමාර යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.