sanath-nishantha-magestrate

ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණයට හේතුව මේ අවස්ථාවේදී ප්‍රකාශයට පත් කිරීමට හැකියාවක් නැතැයි වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුව විදාන මහතා පැවසීය.
සනත් නිශාන්ත මහතාගේ පශ්චාත් මරණ වාර්තාව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් මෙතෙක් අධිකරණයට යොමු කර නොමැති බව අවධාරණය කරමින් මහේස්ත්‍රාත්වරයා එසේ සඳහන් කළේය.


සනත් නිශාන්ත මහතාට මරු කැඳවූ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවළපිටිය ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුරට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම සිද්ධියෙන් අතෘප්තියට පත් වූ බව කියමින් සනත් නිශාන්ත මහතාගේ බිරිඳගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ධනරාප් සමරකෝන් මහතා මෙම සිද්ධියෙන් මියගිය අයගේ මරණයට හේතුව ප්‍රකාශයට පත් කරන්නැයි ඉල්ලා සිටියේය.
ඒ අවස්ථාවේ දී අධිකරණය ඇමතු
මහේස්ත්‍රත්වරයා මෙම අනතුරින් මියගිය සනත් නිශාන්ත මහතාගේ පශ්චාත් මරණ පරික්‍ෂණ වාර්තාව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් මෙතෙක් අධිකරණයට යොමු කර නොමැති හෙයින් මෙම මරණයට හේතුව මේ අවස්ථාවේදී ප්‍රකාශයට පත් කිරීමට හැකියාවක් නැතැයි සඳහන් කළේය.


රිය අනතුරක් සිදුවූ විට එම ස්ථානය පරීක්ෂා කිරීමට අවශ්‍යතාවක් නැතත් අනතුර සිදුවූ පසුගිය ජනවාරි 24 වැනිදා තමා එම ස්ථානය නිරීක්‍ෂණය කළ බව පෙන්වා දුන් මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුව විදාන මහතා ඉන් ගැටලු අවම කර ගැනීමට හැකියාවක් ලැබුණේ යැයිද අවධාරණය කළේය.
මෙම සිද්ධියේ දී මියගිය අයගේ පශ්චාත් මරණ පරික්‍ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් ඉල්ලීමක් කරන ලෙස කඳාන පොලිස් නිලධාරීන්ට දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා ලබන ජුලි මස පළමු වැනිදා මෙම පැමිණිල්ල යළි කැඳවීමට ද නියම කළේය.