sanath-nishantha-wife

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණය සිදුවූ ආකාරය සැකසහිත යැයි පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කළ පැමිණිල්ලකට අනුව කන්ටේනර් රථ රියැදුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ (12) කැදවා ප්‍රකාශ ලබාගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳ වන නීතිඥ චමරි ප්‍රියංකා මහත්මිය සිය සැමියාගේ මරණය සිදුවූ ආකාරය සැකසහිත බව පවසමින් ඉකුත් (7) වැනි දින කළ පැමිණිල්ලකට අදාළවය.එම මාරක රිය අනතුර සම්බන්ධයෙන් විශේෂිත කරුණු කීපයක් ඉදිරිපත් කරමින් පිටු පහක පමණ ප්‍රමාණයකින් යුත් විස්තර ඇතුළත් කර එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.



ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය සනත් නිශාන්ත මහතා ගමන් ගත් ජිප් රථයේ ගැටුණු බව කියන කන්ටේනර් , රථය පැදවූ රියැදුරාට කළ දැනුම් දීමකට අනුව ඔහු එම අංශය වෙත නීතිඥවරයකු සමග පැමිණ පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශ දී තිබිණි.කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 11 දශම1, කෙරවලපිටිය ප්‍රදේශයේදී ඉකුත් ජනවාරි මස 25 වැනි දින ග්‍රාමීය ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය කන්ටේනර් රථයක ගැටීමෙන් රාජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂකයා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයෙක් මිය ගියහ.

අනතුරින් සුඛෝපභෝගී රථයේ රියැදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටි අතර අධිකරණ ඇපමත මුදාහැර තිබිණි.

මියගිය රාජ්‍ය අමාත්‍යවරයා ඉකුත් මස 24 වැනිදා හලාවත, බණ්ඩාරවත්ත ප්‍රදේශයේ හෝටලයක පැවැති විවාහ මංගල සාදයකට සහභාගි වී ආපසු කොළඹ බලා පැමිණෙමින් සිටියදී එම දිශාවටම ධාවනය වූ කන්ටේනර් රථයක පිටුපස ගැටී අනතුරුව ආරක්ෂිත වැටේ ද ගැටී මෙම අනතුර සිදු වී තිබිණි.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශන සිදු කෙරේ.


  බිමල් ශ්‍යාමන් ජයසිංහ