shammi-j-sha

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට අඛණ්ඩව තෙවැනි වරටත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා තේර් පත්විය. ඒ එම කවුන්සිලයේ ඊයේ (31දා) පැවති වාර්ෂික මහාසභා රැස්වීමේදීය. ඉන්දුනීසියාවේ බාලිහිදී මෙය පැවැත්වීණි.



මෙහිදී ෂාගේ ධුර කාලය දිගුකිරීමේ යෝජනාව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා විසින් කර ඇති අතර, එය කවුන්සිලයේ සාමාජිකයන්ගේ ඒකමතික තීන්දුවෙන් සම්මත වී ඇත.

මේ අනුව ඉදිරි වසරක කාලය තුළ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ භාරකාරත්වය ජේ. ෂාට හිමිවනු ඇත.

2021 වර්ෂයේදී මුල්වරට ජේ. ෂා තේරී පත්වන්නේ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති නස්මුල් හසන්ගෙන් පසුවයි. ෂාගේ සභාපතිත්වය යටතේ 2022 වසරේ ආසියානු කුසලානය විස්සයි20 තරග ආකෘතියකිනුත්, 2023 වසරේ එම තරගාවලිය එක්දින ආකෘතියකිනුත් පැවැත්විණි. ජේ. ෂා ශ්‍රී ලංකාව සමගින් සුහදත්වයෙන් කටයුතු කළ අයෙකු ලෙසින්ද ප්‍රකටය.



කෙසේ වෙතත් ඔහු මේ වසරේ නොවැම්බර් මසදී පැවැත්වීමට නියමිත අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති ධුරය සඳහා තරග කිරීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයෙන් ඉවත්වීමේ සූදානමක්ද ඇති බව පසුගියදා වාර්තා පළවිය.

සිය ධුර කාලය දිගුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජේ.ෂා පවසන්නේ, ආසියාව පුරා ක්‍රිකට් පෝෂණය කිරීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය පියවර ගන්නා බවයි.

ඕෂිත වරකපිටිය