shiroshi-romeshika-speaks


Q වසර කිහිපයක්ම ශිරෝෂි නිර්මාණවලට දායක වුණේ නැහැ. ඒ නිහඬව හිටපු කාලය අපරාදේ කියලා හිතෙන්නෙ නැද්ද?

අනන්තවත් හිතිලා තියෙනවා. අනිවාර් යෙන්ම ඒක අපරාධයක් කියලා මට හිතෙනවා.

මුලින් මගේ පෞද්ගලික හේතුවක් නිසා මම වැඩ කරන එක නතර කරලා තිබුණෙ. ඊටපස්සෙ ආයෙත් ටික කාලයක් මම වැඩ කළා. ඒ කාලෙදි මගේ දරුවා ලැබෙන්න හිටපු නිසාත් එයාගේ වැඩ කටයුතු නිසාත් මම අවුරුදු පහක් වගේ කාලයක් වැඩ කළේ නැහැ.

දැන් ආයෙත් වැඩ කරන්න පටන් ගත්තා. ඉතින් ඒ ගෙවුණු කාලය අපරාධයක්. ඒ කාලය ආපහු ගන්න බැහැ. ඒ කාලෙ ලැබුණු ප්‍රතිචාර අද ලැබෙන ප්‍රතිචාරවලට වඩා ගොඩක් වෙනස්. මම ආපු කාලයත් එක්ක ඒ ලැබුණු ජනප්‍රියත්වය වැඩියි. ඉතින් ඒ තරම්ම ජනප්‍රියත්වයක් නැතිවුණාට ‍ඒ ආදරය තාමත් තියෙන බව දැනෙනවා. ඔවුන්ගෙන් මට ලැබෙන ප්‍රතිචාරත් එක්ක ඒක මට දැනෙනවා. ඉතින් ගෙවුණු කාලය ගැන දුකකුත් තියෙනවා. හැබැයි දරුවා වෙනුවෙන් අවුරුදු පහක් ගත කරපු එක ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ජීවිතේ අපිට එක එක හැලහැප්පීම් එනවා. ඒ දේවල්වලටත් මුහුණ දෙමින් අද ජීවිතේ ගත කරනවා.

Q අද චූටි දුව එක්ක ගත කරන ජීවිතේ දැනෙන්නෙ කොහොමද?

ඒක වෙනම සුන්දර ජීවිතයක්. දවසින් දවස එයා ලොකුවෙන හැටි මම බලාගෙන හිටියා. මව් පදවිය කියන්නෙ හරි උතුම් පදවියක්. ඒ පදවිය ලබන්න මම පිං කළා. දැන් දෝණිට වයස අවුරුදු හයයි. එයා චූටි කාලෙම මම වැඩවලට ගියේ නැහැ. එයා එක්කම හිටියා. දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් දෝණි පාසල් යනවා.

මගේ අම්මයි තාත්තයි ළඟ ඉන්න නිසා දෝණි ගැන බයක් දැනෙන්නෙ නැහැ.

Q ඊළඟ බලාපොරොත්තු මොනවද?

බලාපොරොත්තු තියාගෙන ඒවා ඉෂ්ඨ නොවුණාම ලොකු වේදනාවක් දැනෙන නිසා ලොකු බලාපොරොත්තු තියාගෙන නැහැ. හැබැයි මගේ ලොකුම බලාපොරොත්තුව මගේ දරුවයි. එයා හොඳ දරුවෙක් විදිහට හොඳට ඉගෙනගෙන සමාජයට බරක් නැති දරුවෙක් වුණොත් ඒක මට සැනසිල්ලක්.

Q හිතට දුකක් කලකිරීමක් වේදනාවක් දැනුණම ඔබ ඒ පීඩනය විඳ දරාගන්නෙ කොහොමද?

කොහොමත් මම කාටවත් පේන්න අඬන කෙනෙක් නෙවෙයි. එහෙම දුකක් දැනුණොත් මම කවුරුත් නැති තැනකට ගිහින් අඬාවි. දරාගන්න බැරිම වෙලාවල්වලදි අඬලා තියෙනවා. ජනප්‍රියත්වය නිසා මිනිස්සු හඳුනන නිසා අපිට සමහර හැඟීම් පාලනය කරගෙන ඉන්න වෙන වෙලාවල් තියෙනවා. කොච්චර වේදනාවක් හිතේ තිබුණත් කැමරාව ඉදිරියේ හිනාවෙලා රඟපාන්න අපිට වෙලා තියෙනවා.

I දිශානි ජයමාලි