අවස්ථාවාදී දේශපාලනය සිදු කරන පිරිස්  පිළිබඳ කතා කිරීමට සමගි ජන බලවේගයට යුතුකමක් තිබෙන බවත් රට බංකොලොත්වීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ වගකිව යුතු බවත් සමගි ජන බගවේගයේ පාරිලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසීය.



කොළඹ විපක්ෂනායක කාරියාලයේ ඊයේ (14දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.



එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

“සමගි ජනබලවේගය කිසිදු දවසක ජනතා විමුක්ති පෙරමුණට බය නෑ. බයවෙන්න හේතුවකුත් නෑ. ජනතා විමුක්ති පෙරමුණේ තිබෙන අවස්ථාවාදී ප්‍රතිපත්ති ගැන සහ ඔවුන් සිදුකර තිබෙන පාවාදීම් ගැන තමයි අපි කතා කරන්නේ. ආර්ථිකය සොහොන් බිමක් බවට පත්කළා. ජේ.ආරි ජයවර්ධනට, රණසිංහ ප්‍රේමදාසට වෛර කරපු වාමාවාදී කණ්ඩායම් ඒ කාලයේ සිදුවුණ සිදුවීම් ගැන දැන් හිතන්න පටන් ගෙන තිබෙනවා.1977 ජේ.ආර් ජයවර්ධන රට ප්‍රතිසංස්කරණය කරන අවස්ථාවේ ඊට අකුල් හෙළුවා. 1988 දී රණසිංහ ප්‍රේමදාසට බාධා ඇති කළා. රටේ විශාල ප්‍රශ්න ඇති කළා. 2001 දී ගෙනාපු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න ජනතා විමුක්ති පෙරමුණ ඉඩ දුන්නා නම් රට අද තිබෙන්නේ වෙනම තැනක. රට බංකොලොත් වෙන්නෙත් නෑ. අවුරුදු 45ට පසු ජනතා විමුක්ති පෙරමුණ වෙනස් වෙන්න උත්සාහ කරනවා.



අවස්ථාවාදී දේශපාලනය සිදුකරන පිරිස් පිළිබඳ කතා කිරීමට සමගි ජනබලවේගයට යුතුකමක් තිබෙනවා. රට බංකොලොත්වීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ වගකිව යුතුයි.
2002 දී රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සහ රාජ්‍ය සේවය, ලංවීම, තෙල් සංස්ථාව, රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්න සූදානම් කළා. ඒ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ එම වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න කටයුතු කරලා මහින්ද රාජපක්ෂ ජනාධිපති කරන්න කටයුතු කළා. 2004 වෙද්දි රටේ සමස්ත ණය ප්‍රමාණය බිලියන 1,996ක්. 2014 වෙද්දි රටේ සමස්ත ණය ප්‍රමාණය බිලියන 9,936ක්, ණය අර්බුදය සියයට 500කින් වැඩිවෙලා. පළමු පාර රට බංකොලොත් වෙද්දි ගෑස්, තෙල්, ලයිට් නැති වුණා. දෙවැනි පාර රට බංකොලොත් වෙද්දී මිනිස්සුන්ට කන්න නැතිව පාරේ මැරිලා ඉන්න පුළුවන්.”


දිනේෂ් සමරකෝන්