speaker-online-act

නීතිපති දෙපාර්තමේන්තුව විසින් සහතික කරන ලද පරිදි, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට අනුව පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද බව කථානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.



ඒ පිළිබඳ මෙම පනත සම්මත කරන අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ රුඳී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ද තහවුරු කර ඇති බව එහි සඳහන් කර ඇත.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙලෙස සඳහන් කර තිබේ.

“2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දින දෙකක් විවාදයට ගනු ලැබූ අතර,

එහි කාරක සභා අවස්ථාව එම විවාදයේ දෙවැනි දිනය වූ 2024 ජනවාරි 24 වැනි දින පස්වරු 5.00 ට ආරම්භ විය. එම පනත් කෙටුම්පත වගන්තියෙන් වගන්තිය සම්මත කර ගන්නා අවස්ථාවේ කථානායකවරයා මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍යාංශය විසින් ලබා දෙන ලද සංශෝධන ලැයිස්තුව අනුව එක් එක් සංශෝධනය සම්මත කර ගැනීම සඳහා සභාවට ඉදිරිපත් කිරීමට සැලැස්වූයේය. එම අවස්ථාවේ දී පාර්ලිමේන්තුවේ රාජ්‍ය නිලධාරීන් සඳහා වෙන් කර ඇති නිල මැදිරියේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා, ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණයට අනුව අනිවාර්යයෙන් ඇතුළත් කළ යුතු සංශෝධන සියල්ල කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් කළ සංශෝධන මගින් ඇතුළත් කර ඇති බව කථානායකවරයාට දැනුම් දුන්නේය.

එකී සංශෝධන ඉදිරිපත් කර කාරක සභා අවස්ථාවේදී සලකා බලනු ලැබීමෙන් අනතුරුව, සෑම පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් ම අනුගමනය කරන ක්‍රියාවලිය අනුගමනය කරමින්, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ද තුන්වැනි වර කියවීමෙන් පසුව යථා පරිදි පාර්ලිමේන්තුවේ දී සම්මත විය. එම අවස්ථාවේදී නීතිපතිවරයා මෙම සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මගින් ලබා දී ඇති

උපදෙස් අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව සහතික කරමින් ස්වකීය සහතිකය ද ලබා දුන්නේය. මෙම සමස්ත ක්‍රියාවලියේදීම, ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළුව කවර හෝ පාර්ශ්වයක් විසින් යෝජනා කරනු ලබන සංශෝධනයක්/සංශෝධන සහ/ හෝ නිර්දේශ/යෝජනා පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට කථානායකවරයාට වගකීමක් හෝ බලයක් නැත. එම බලය සම්පූර්ණයෙන් ම පාර්ලිමේන්තුව සතු වේ; එනම් එහි මන්ත්‍රීවරුන්ට, බොහෝ විට බහුතර ඡන්දයෙන් එය සිදු කළ හැක.

මේ අනුව, නීතිපති දෙපාර්තමේන්තුව විසින් සහතික කරන ලද පරිදි, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට අනුව පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද බව කථානායක කාර්යාලය නිවේදනය කරයි. මෙම ක්‍රියාවලිය පිළිබඳව වඩාත් හොඳින් දැනුවත්ව සිටිය යුතු පාර්ශ්ව මේ සම්බන්ධයෙන් වෙනත් ආකාරයකින් ප්‍රකාශ කිරීම කනගාටුවට කරුණක් වන අතර, කථානායකවරයාට ස්වකීය අභිමතය පරිදි නීති පැනවීමට හෝ පනත් කෙටුම්පත්වලට සංශෝධන ඉදිරිපත් කිරීමට හැකි බවට අවධාරණය කිරීම නීතිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ඔවුන්ගේම දැනුමට කරන අපහාසයකි.

ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට පැමිණ

2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්මත කර ගැනීම හා සම්බන්ධ සියලුම ලියකියවිලි සහ ක්‍රියාපටිපාටි පක්‍ෂා කර කරුණු හොඳින් අවබෝධ කර ගැනීමට සහ විෂය පිළිබඳ දැනුමක් ඇති නිලධාරීන්ගෙන් උපදෙස් ලබා ගැනීමට හැකි බැවින් ඒ සඳහා සාදරයෙන් ආරාධනය කරන්නෙමු.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ එහි කොටස් පිළිබඳව විනිශ්චය කරනු ලබන්නේ සමස්තය සැලකිල්ලට ගෙන මිස එහි ප්‍රතිවිරුද්ධ පිළිවෙළට නොවන බැවින්, පාර්ලිමේන්තුව අපකීර්තියට පත් කිරීම හෝ එහි විශ්වාසනීයත්වය හෑල්ලූවට ලක් කිරීම යහපත් දෙයක් නොවන බව කථානායක කාර්යාලය සියලුම මන්ත්‍රීවරුන්ට මෙයින් නැවත සිහිපත් කර දෙයි."
  දිනේෂ් සමරකෝන්