temple-trees-death-attempt

අරලියගහ මන්දිරියේ රාජකාරියෙහි යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබාගෙන ඇතැයි කොල්ලුපිටිය පොලීසිය කියයි.



තුවාල ලබා ඇත්තේ අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයේ කොල්ලුපිටිය කඳවුරට අනුයුක්තව සේවය කරන හොරෙව්පතාන , කපුගොල්ලෑව , මොරවැව අංක 36 නිවසේ පදිංචි පොලිස් කොස්තාපල් (90715) ඩී. කේ. එම්. ප්‍රේමසිරි (අවු.29)නමැති නිලධාරියාය .



ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත. කොස්තාපල්වරයා පෙරේදා (30දා) සවස හයේ සිට නවය දක්වා අරලියගහ මන්දිරයේ එච් 1දොරටුවේ ස්ථාපිත උස් මුරකුටියේ රාජකාරියේ යොදවා සිටියදී නිලධාරීයාට නිකුත් කර තිබූ ටී -56 ගිනිඅවියෙන් වෙඩි තබා ගැනීම සිදුකරගෙන ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම වෙඩි තබා ගැනීමෙන් වම් අතේ සුළැඟිල්ලකට තුවාල සිදුවී ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.



මුරකුටියේ යකඩ තහඩුවට උණ්ඩ දෙකක් වැදී ඇති බව ස්ථානය පරීක්ෂා කිරීමේදී පැහැදිලි වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මේ සම්බන්ධයෙන් රෝහල්ගතව සිටින නිලධාරියාගෙන් සිදුකළ විමසීමේදී සිය මව මීට මාස හයකට පෙර මියගිය බවත්, මවගේ මරණින් පසු පියාද අවස්ථා කීපයකදී රෝගීව රෝහල්ගත කළ බවත්, නිවසේ ඇතිව තිබෙන අග හිඟකම් පිළිබඳ සිය එකම සහෝදරයා සමග නිතර ආරවුල් ඇතිවන බවත්, එම සිදුවීම් හේතුවෙන් ඇති වූ මානසික ආතතිය මත තමා විසින්ම වෙඩි තබා ගත් බවට ප්‍රකාශ ලබා දී ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. කොල්ලුපිටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

බිමල් ශ්‍යාමන් ජයසිංහ