temple-trees-pistol-police

අරලියගහ මන්දිරියේ රාජකාරී යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බළකායට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කියයි.



තුවාල ලබා ඇත්තේ අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයේ කොල්ලුපිටිය කඳවුරට අනුයුක්තව සේවය කරන හොරොව්පතාන, කපුගොල්ලෑව, මොරවැව අංක 36 නිවසේ පදිංචි පොලිස් කොස්තාපල් (90715) ඩී. කේ. එම්. ප්‍රේමසිරි (29) හැවිරිදි නිලධාරියාය.



ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

කොස්තාපල්වරයා පෙරේදා (30) සවස හයේ සිට නවය දක්වා අරලියගහ මන්දිරයේ එච් 1 දොරටුවේ ස්ථාපිත උස් මුරකුටියේ රාජකාරිය යොදවා සිටියදී නිලධාරියාට නිකුත් කර තිබූ ටී -56 - 5106523 අංක දරන ගිනි අවියෙන් වෙඩි තබා ගැනීම සිදුකරගෙන ඇතැයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.

එම වෙඩි තබා ගැනීමෙන් වම් අතේ සුළඟිල්ලකට තුවාල සිදුවී ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.



මුරකුටියේ යකඩ තහඩුවට උණ්ඩ දෙකක් වැදී ඇති බව ස්ථානය පරීක්ෂා කිරීමේදී පැහැදිලි වන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මේ සම්බන්ධයෙන් රෝහල්ගතව සිටින නිලධාරියාගෙන් සිදුකළ විමසීමේදී, සිය මව මීට මාස හයකට පෙර මියගිය බවත්, මවගේ මරණින් පසු පියා ද අවස්ථා කීපයකදී රෝගීව රෝහල් ගත කළ බවත්, නිවසේ ඇතිව තිබෙන අගහිගකම් පිළිබඳ සිය එකම සහෝදරයා සමග නිතර ආරවුල් ඇතිවන බවත් එම සිදුවීම් හේතුවෙන් ඇති වූ මානසික ආතතිය මත තමා විසින්ම වෙඩි තබා ගත් බවත් ප්‍රකාශ ලබා දී ඇතැයි පොලිසිය පවසයි.

කොල්ලුපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය