තලෙයිමන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශයේ දස හැවිරිදි ගැහැනු දරුවකු අපයෝජනය කර ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයකු 16 දා උදෑසන සැකපිට අත්අඩංගුවට ගත් බව තලෙයිමන්නාරම පොලිසිය කියයි.
ගැහැනු දරුවගේ අතුරුදන්වීමක් පිළිබඳ තලෙයි මන්නාරම පොලිසියට 15 දා ලැබුණු පැමිණිල්ලක් අනුව ප්‍රදේශවාසීන් හා එක්ව ප්‍රදේශයේ කළ පරික්ෂාවක දී දැරියගේ නිවෙස ආසන්නයේ පොල් වත්තක තිබී මළ සිරුර සොයාගනු ලැබීය.
මෙසේ ඝාතනය කර ඇත්තේ තලෙයිමන්නාරම, ඌරුමලෙයි හි පදිංචි ෆර්නැන්ඩෝ පියාන්සි නමැති දස හැවිරිදි ගැහැනු දරුවෙකි. දැරිය දිවා කාලයේ ප්‍රදේශයේ වෙළෙඳසලකට ගොස් නැවත නිවෙසට පැමිණෙමින් සිටියදී අතුරුදන්ව ඇතැයි කියති.
දැරිය සොයා නැති තැන ඇයගේ මිත්තණිය සිද්ධිය පොලිසියට පැමිණිලි කළාය.
මියගිය දැරිය දීර්ඝ කාලයක සිට සිය මිත්තණිය සමග ජීවත්ව ඇති බවත්, දැරියගේ මව්පියන් සිලාවතුර ප්‍රදේශයේ සිට විවිධ කුලී රැකියාවන්හි නිරත වන බවත් පොලිසිය පවසයි.
දැරිය ගෙල සිරකර ඝාතනය කරන්නට ඇතැයි සැක කරන බව පොලිසියේ නිලධාරියෙක් කීය.
ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රදේශයේ වත්තක මුරකරුවෙකි.
පනස් පස් හැවිරිදි සැකකරු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
දැරියගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය මන්නාරම වැඩබලන මහේස්ත්‍රාත් විනෝදන් මහතා පැවැත්වීය.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය මන්නාරම රෝහලට රැගෙන යනු ලැබීය.
සැකකරු මන්නාරම රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට යොමු කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
තලෙයි මන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
මේ අතර දැරියකගේ මළ සිරුර හමුවීමත් සමග ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක නිරත වීම හේතුවෙන් ප්‍රදේශයේ දැඩි නොසන්සුන් තත්ත්වයක් 16 පෙරවරුවේ ඇති විය.
වරද කරුවන්ට මරණීය දණ්ඩනය දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.
මඩුකන්ද සිතුම් චතුරංග සහ වන්නි රොමේෂ් මධුෂංක
0 Comments