බදු ගෙවන්නන් හඳුනාගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන අංකයට (TIN) අදාළ බැංකු කටයුතු සඳහා බව පවසමින් බැංකුවෙන් කතා කරන ආකාරයට කතා කර ජනතාව රවටා සූක්ෂම ආකාරයට පෞද්ගලික බැංකු ගිණුම්වලින් මුදල් වංචා කරන හැකරුන් කල්ලියක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
මේ වනවිට එම වංචනික කල්ලියට හසුවී රුපියල් ලක්ෂ ගණනින් මුදල් අහිමි කරගත් අය පිළිබඳව තොරතුරු ලැබී තිබෙන බවද නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
රාජ්‍ය බැංකුවක කාර්යමණ්ඩල සාමාජිකයන් ලෙස දුරකථනයෙන් අමතා ටින් අංකයට අදාළව බැංකුවේ ගිණුමක් පවත්වාගෙන යායුතු ආකාරය පිළිබඳව දැනුවත් කරන ජාවාරම්කරුවන් ඉන් පසුව එම ගිණුම සකස් කිරීමට අවශ්‍ය වන බැංකු ගනුදෙනුකරුගේ මුදල් හුවමාරු රහස්‍ය අංකය (OTP) ඉල්ලා සිටියි. තමන් හසුවී සිටින්නේ වංචනිකයෙකුට බව වටහා නොගන්නා පිරිස් මෙම රහස්‍ය අංකය වැඩිදුර සොයා බැලීමකින් තොරව ඔවුන්ට ලබා දීමට කටයුතු කරති.
එම රහස්‍ය අංකය ලබා ගන්නා වංචනික කල්ලිය තමන් සමඟ සම්බන්ධ වූ පුද්ගලයාට අයත් බැංකු ගිණුමට ඇතුළුවී එහි ඇති මුදල් ලක්ෂ ගණනින් ලබා ගන්නා බවට තොරතුරු අනාවරණය වී ඇති බවද කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතා සඳහන් කළේය.
මේ ආකාරයට තම ගනුදෙනුකරුවන් රවටා මෙම වංචනික කල්ලිය මේ වන විට කුරුණෑගල නගරයේ ප්‍රධාන පිරිවෙන් අධ්‍යාපන ආයතනයක සේවය කරන හිමිනමකගේ ගිණුමකින් ඊයේ (7දා) රුපියල් දෙලක්ෂ හැට දහසක මුදලක්ද , පසුගිය සතියේ තවත් අයෙකුගේ ගිණුමකින් රුපියල් ලක්ෂ දහයක මුදලක්ද වංචනිකව ලබාගෙන ඇති බව රාජ්‍ය බැංකුවක අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය. වංචනිකයන්ගේ ග්‍රහණයට හසු වූ කුරුණෑගල විශුද්ධාරාම පිරිවෙනේ විදුහල්පති නන්දාරාම නාහිමියෝ සිද්ධිය පිළිබඳව මෙසේ පැවසූහ.
“මම 06 වැනිදා පිරිවෙනේ වැඩ සිටියා. එතකොට දවල් 1.00 ත්, 2.00 අතර කාලයේදී මට කුරුණෑගල රාජ්‍ය බැංකුවකින් කතා කරන විදියට මගේ ගිණුම්වල තොරතුරු ඇහුවා. මම ඇයි කියලා ඇහුවා. මේ දිනවල ගිණුම් ගත අයිතිකරුවන්ගේ මුදල්වලට ටැක්ස් පයිල් හදනවා. ඒක අදම හදලා අවසන් කරන්න ඕනෑ, ඒ නිසා අපිට ගිණුම් අංකය දෙන්න කිව්වා. ඒක මතක නැහැ කියන විට ජාතික හැඳුනුම්පත් අංකය ඉල්ලුවා. බැංකුව කෙරෙහි සැකයක් නැති නිසා හැඳුනුම්පත් අංකයත්, ඉල්ලන තොරතුරුත් ඔවුනට පවසා සිටියා.
පස්සේ හවස් වනවිට ගිණුමෙන් දෙලක්ෂ අට දහසක මුදලක් අරගෙන කියලා පෝන් එකට මැසේජ් ආවා. පළමු සැරේ ගිණුමෙන් ලක්ෂයක් අරගෙන. ඊට පසුව හැට දාහක් අරගෙන තියෙනවා. අවසන් වතාවට 48,000ක් අරගෙන බව දැක්කා".
මෙවැනි ආකාරයට දුරකථන මගින් කතා කර පෞද්ගලික තොරතුරු විමසන වංචනිකයන්ට හසු නොවන ලෙස ජනතාවට දැනුම් දෙන නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලුම පොලිස් ස්ථාන හරහා ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවද ප්‍රකාශ කළේය.
ගීතාංජලී ප්‍රියදර්ශනී/පොල්පිතිගම - සිසිර කැලේගම
0 Comments