us-woman-abused

මෙරට සංචාරයක් සඳහා පැමිණි විසිපස් හැවිරිදි ඇමරිකානු ජාතික තරුණියකට අතවර කර ඇය සතු ඇමරිකානු ඩොලර් 6000 ක රන් අභරණ සොරාගැනීමේ සිද්ධියකට අදාළව සංචාරක මගපෙන්වන්නකු ඇතුළු දෙදෙනකු මහනුවර පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අතවරයට ලක්වූ බව කියන තරුණිය නානුඔය පොලිසියට ප්‍රකාශයක් කරමින් තමන්ට මහනුවර නවාතැන් පොළක දී පසුගිය 29 දින අතවරයක් සිදුවූ බව දැනුම් දී ඇත.



මහනුවර සිට බදුල්ල බලා 30 දින දුම්රියෙන් ගමන් ගනිමින් සිට ඇති මෙම තරුණිය අඬමින් සිටිනු දුටු පිරිසක් ඒ පිළිබඳ විමසා ඇයව නානුඔය පොලිසියට යොමුකර තිබේ.

ඇමරිකානු ඩොලර් 2400 ක් වටිනා රන් අත් පලඳනාවක් ද ඩොලර් 3600 ක් වටිනා මාලයක් සහ දියමන්ති ඔබ්බවන ලද කරාබු දෙකක් ද තමන් අතවරයට ලක් කළ පුද්ගලයන් විසින් සොරාගෙන ඇති බවට ඇමරිකානු ජාතික තරුණිය පොලිසියට කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන කළ මහනුවර පොලිසියේ අපරාධ අංශය සැකපිට අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් දෙදෙනා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර වාර්තාවක් ලබා ගැනීමට ද පියවර ගෙන තිබේ.

පැමිණිල්ල කළ තරුණිය ද අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට උත්සාහ කළත් ඇය ඒ සඳහා ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කර ඇත.



සංචාරක මග පෙන්වන්නා සහ තවත් අයකු සමග මහනුවර නවාතැන් පොළක දී මත්පැන් පානය කළ බවත් ඉන් පසුව තමන් අඩ නිරුවතින් ඇඳක් මත සිටි බවත් ප්‍රකාශ කර තිබෙන පැමිණිලිකාරිය ඒ අතර සිදුවූ කිසිවක් මතක නැති බව ද පොලිසියට පවසා තිබේ. 

(කමල් සුරවීර - මහනුවර)