vat-remove-request-books

පොත් කර්මාන්තයට පනවා තිබෙන සියයට 18 වැට් බද්ද වහාම ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ඇතුළු පොත් ආශ්‍රිත සියලුම අංශ රජයෙන් ඉල්ලා සිටිති.

කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඉකුත් 2 වැනිදා පැවති මාධ්‍ය හමුවේදී පොත් ප්‍රකාශක සංගම් එම ඉල්ලීම කළේය. එම අවස්ථාවට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සමග ශ්‍රී ලංකා පොත් ආනයනකරුවන්ගේ හා අපනයනයකරුවන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා ලේඛක සංගමය ද එක්ව සිටියේය.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශයන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් දිනේෂ් කුලතුංග මහතා කියා සිටියේ රජයේ ආදායම් ඉහළ නැංවීමේ කෙටිකාලීන අවශ්‍යතාවයට අනුව ක්‍රියාත්මක කෙරෙන මෙම වැට්බදු ක්‍රියාවලියට පොත් කර්මාන්තයද ඇතුල් කර ඇති හෙයින්

එය ඉදිරි පරම්පරා ගණනාවකට දැඩි බලපෑමක් එල්ල කරන බවය. ඒ තුළින් අධ්‍යාපනයට සංස්කෘතියට මෙන්ම බුද්ධිමය ප්‍රගතියට හා පුද්ගල සංවර්ධනයට සිදුවන අහිතකර බලපෑම කිසිසේත් අඩුවෙන් තක්සේරු කළ නොහැකි බව පැවසූ ලේකම්වරයා වැට්බදු ලබාගැනීමෙන් ගොඩනැගෙන ආර්ථික වර්ධනය මගින් එම අහිතකර බලපෑම සාධාරණීකරණය කළ නොහැකි වනු ඇතැයි ද කීය.

අපගේ රට 1950 වසරේ දී යුනෙස්කෝ සංවිධානයේ ෆ්ලෝරන්ස් ගිවිසුමට අත්සන් කර ඇති බවද පැවසූ ලේකම්වරයා එම ගිවිසුමට අනුව ආනයනය කරන යම් අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික ද්‍රව්‍යයවලට රේගු බදු හා අනෙකුත් බදු පැනවීමෙන් වැළකීම ඇතුළත් වන බවද කීය.

මෙම කර්මාන්තය දැනටමත් රජයට රුපියල් බිලියන එකකට වැඩි බදු මුදලක් ලබාදෙන බවත්, ඊට අමතරව සියයට 18ක තවත් වැට් බදු ගෙවීම මගින් පොත් ප්‍රකාශකයන්ගෙන් ද්විත්ව බදු අයකිරීමෙන් අක්‍රමිකතාවයක් ඇති වන බවත් ප්‍රධාන ලේකම්වරයා කීය.

කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියෝ අදහස් දක්වමින් විමසා සිටියේ පොත් නැතුව අධ්‍යාපන කටයුතු කරන්නේ කෙසේද කියාය. ජනතාවගේ ආදායම් මාර්ග බිංදුවටම වැටී ඇති මෙකල සෑම භාණ්ඩයකම මිල ගණන් අහස උසට නැග තිබියදී පොත් ප්‍රකාශනවලටත් සියයට 18ක බදු අය කළ විට පොත්පත් පරිශීලනය ආචාර්යවරුන්ටත් විද්‍යාර්ථයින්ට මෙන්ම විවිධ පරේශ්ෂණ කෘති සම්පාදනය කරන අයටත් අත්වන ඉරණම කෙබඳුදැයි සිතාගත නොහැකි බවද මහාචාර්ය හිමියෝ පැවසූහ.

මෙවැනි තත්ත්වයක් මත අනාගතයේ බිහිවන්නේ හිස් මිනිසුන් බව පැවසූ උන්වහන්සේ එය ශීලාචාර දැන උගත් සාමාජයකට ඔරොත්තු නොදෙන මහා පිරිහීමක් බවට පත්වනු ඇතැයි ද කීහ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා අදහස් දක්වමින් කියා සිටියේ මෙම තත්ත්වය සමස්ත පාසල් අධ්‍යාපනයටම බරපතළ ලෙස බලපෑමක් වන බවය.



අඩු ආදායම්ලාභී පවුල්වල ශිෂ්‍යයන්ට තමන් ඇතුළු විශ්ව විද්‍යාල ඇදුරන් සිය වැටුපෙන් යම් මුදලක් පරිත්‍යාග කර පොත්පත් ලබාදීමේ සමාජ සත්කාරයක් කළද එය මින් ඉදිරියට සිදු කිරීමේදී විශාල ගැටලුවකට මුහුණ පෑමට සිදුවනු ඇතැයි ද මහාචාර්ය අභයසුන්දර මහතා පැවසීය.

මල නොතලා රොන් ගන්නා සේ බදු එකතු කළ යුතු බව බුදු බණේහිද සඳහන් බව පැවසූ මහාචාර්යවරයා එහෙත් වත්මන් බදු ප්‍රතිපත්තිය තුළ එවැන්නක් දැකිය නොහැකි බව ද කීය.

 මෙහිදී ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ හිටපු සභාපති විජිත යාපා, ශ්‍රී ලංකා පොත් ආනයනය සහ අපනයනකරුවන්ගේ සංගමයේ සභාපතිනි දිනුෂි අබේවික්‍රම, ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර ශ්‍රී ලංකා ලේඛක සංවිධානයේ ලේකම් කමල් පෙරේරා යන මහත්ම මහත්මීහුද අදහස් දැක්වූහ.


ආරියරත්න රණබාහු