weliwita-sudda-arrested

යුක්තිය මෙහෙයුම යටතේ කඩුවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය බාරයේ තිබූ වැලිවිට සුද්දා නමැත්තාට අයත් කෝට් ගණනක් වටිනා බස් රථ පහක්, සුඛෝපභෝගී මෝටර් රථයක් හා යතුරුපැදියක් යළි ලියාපදිංචි හිමිකරුට ලබා දෙන ලෙසට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් 17 වැනිදා දුන් තීන්දුව බල රහිත කරමින් එම දේපළ යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය බාරයට ගෙන, විමර්ශන කරන ලෙසට හෝමාගම මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා 21 දා නියෝග කළේය.

ඒ අනුව, ඉකුත් 17 වැනිදා කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජයබණ්ඩාර මහත්මිය දී තිබූ නියෝගය බල රහිත වේ.කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජජයබණ්ඩාර මහත්මිය ඉකුත් 17 වැනිදා ලබා දී තිබූ එම නියෝගයට අනුව, දේපළවල හිමිකරුවන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පෙරේදා 20 වැනිදා පැමිණ,

එහි බාරයේ තිබූ බස් රථ පහ, මෝටර් රථය හා යතුරුපැදිය යළි රැගෙන ගොස් තිබිණි.මෙම දේපළ රැගෙන යාම සම්බන්ධයෙන්, නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන සිල්වා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක ඉන්දික යන මහත්වරු  21 වැනිදා හෝමාගම මහාධිකරණයට කරුණු දැක්වූහ.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, ඉහත දේපළ උපයාගත් ආකාරය පිළිබඳව මුදල් විශුද්ධිකරණ පනත යටතේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පරීක්ෂණයක් පවත්වන අතරතුරදී ඊට ප්‍රමාණවත් කාලයක් ලබා නොදී, මෙසේ ඉහත දේපළ යළි හිමිකරුවන්ට පවරා දීමෙන් පරීක්ෂණවලට බාධා එල්ල වී ඇති බවය.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් එම නියෝගය නිකුත් කර තිබුණේ, මුදල් විශුද්ධිකරණ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකුට පැවැරී ඇති බලතල අනුව, දින හතක තහනම් නියෝගයක් ඉකුත් 15 වැනිදා නිකුත් කර තිබූ අවස්ථාවක බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කියා සිටියේය.



නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා තවදුරටත් අධිකරණයට කරුණු දක්වමින් ඉල්ලා සිටියේ, මෙම පරීක්ෂණ අවසන් වන තෙක් අදාළ දේපළ යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසය.එසේම, පෞද්ගලික බස් රථ පහට අයත් මගී ප්‍රවාහන බලපත්‍ර පහ ද නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට ගැනීමට අවසර ලබා දෙන ලෙසය.

මේ පිළිබඳව කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා, කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉකුත් 17 වැනිදා නිකුත් කර තිබූ නියෝගය බල රහිත කරමින්, යළි එම දේපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට ගැනීමට අවසර දෙමින් වැඩිදුරටත් නියෝග කර සිටියේ, අදාළ මාර්ග බලපත්‍ර පහ ද භාරයට ගැනීමටයි.

මෙම දේපළ සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණයේ ප්‍රගති වාර්තාව මෙම වසරේ මැයි 21 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට මෙහිදී නියෝග කළේය. 2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක පහ දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 8 (2) වගන්තිය යටතේ 2024 පෙබරවාරි 21 වැනිදා සිට 2024 මැයි 21 වැනිදා දක්වා හෝ මාස තුනක කාලයක් තුළ ඉහත විමර්ශන අවසන් කරන ලෙසට මහාධිකරණ මිනිසුරුවරයා නියෝග කළේය.ඒ අනුව, එම දේපළ යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට ගැනීමට නියමිතය.

  ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න