young-man-embilipitiya-facebook

වෑන් රථයක පැමිණි මැර කණ්ඩායමක් ඇඹිලිපිටියේ තරුණයකු පැහැරගෙන ගොස් කැලෑ ප්‍රදේශයක රඳවාගෙන තියුණු ආයුධවලින් කපා තුවාල කරමින් සිටියදී කුට්ටිගල හා ඇඹිලිපිටිය පොලිසියේ නිලධාරීන් පිරිසක් ස්ථානය වටලා තුවාලකරු වහාම රෝහල් ගත කිරීමෙන් සිදුවීමට ගිය ඝාතනයක් වළක්වා ගැනීමට හැකි වූ බව ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසිය කියයි.



සිද්ධියෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ ඇඹිලිපිටිය කිරුලවැල්කටුව ප්‍රදේශයේ පදිංචි පෙත්තාවඩුගේ නවීන් ප්‍රමෝද් ජීවන්ත නමැති අවිවාහක තරුණයෙකි.

පොලිසිය ඒ ස්ථානය වටලන විට අපරාධය කරමින් සිටි සැකකරුවන් කිහිප දෙනෙකු වැන් රථයකින් පලාගොස් ඇත. මින් සැකකරුවකු මහත් පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.



එම අපරාධය කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් සැකකරුවන් මුහුණු පොතට මුදා හැර තිබූ බවත් සැකකරුවන් හඳුනා ගැනීමට ඉන් පහසුවක් වූ බවත් පොලිසියේ නිලධාරියෙක් කීය.

පෙර දිනක සිදු වූ ආරවුලක් දුර දිග ගොස් එම අපරාධය කරන්නට ඇතැයිද තුවාලකරු ඇඹිලිපිටිය, කිරුලැවැල්කටුව ප්‍රදේශයේ නිවෙස ඉදිරිපිට ගසක මල් කඩමින් සිටියදී පැහැර ගැනීම සිදුවී ඇති බවත් පොලිසිය කියයි.

ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.කේ.සී.එස්. දයාවංශ හා කුට්ටිගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ජී.එස්.පී. ගමගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත් වේ.

පල්ලේබැද්ද රෝහණ සමරවීර