33-lakhs-of-cash-and-gold-were-stolen-from-the-house-of-a-Swiss-embassy-official

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ උපපාලන නිලධාරිනියගේ  කොළඹ 5 ලොන්ඩන් පෙදෙස නිවසින් රුපියල් ලක්ෂ 33 කට ආසන්න විදේශීය මුදල් සහ රන් ආභරණ සොරාගෙන ඇතැයි නාරාහේන්පිට පොලීසිය සඳහන් කරයි.

සොරාගෙන ගොස් තිබූ දේපළ අතර විදේශීය මුදල් වන සුවිස්  ෆෑන්ක් 500ක්, වටිනා දියමන්ති ඇල්ලූ සුදු රත්තරන් කරාබු ජෝඩුවක්, දියමන්ති හා පුෂ්පරාග ගලක් අල්ලන ලද රන්මාලයක්, කළු පැහැති මුතු ඇට අල්ලන ලද රන් අත් පලඳනාවක්, පොඩි  මැණික් ගල් අල්ලන ලද රිදී මුදුවක් වන බවද පොලීසිය සඳහන් කරයි.ස්විට්සර්ලන්ත ජාතික කාන්තාවක වන පැමිණිලිකාරියගේ පවුලේ අය ඉකුත් පෙබරවාරි මස 27දා මෙරට සංචාරයකට පැමිණ ඇති අතර පැමිණිලිකාරිය නිවස වසා දමා ඔවුන් සමග සංචාරය කර පසුගිය7දා සංචාරය නිමා කර නිවසට පැමිණ

ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ඊට පසු දින පැමිණිලිකාරියගේ පවුලේ අය ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් ඇති අතර ඔවුන් පැමිණිලිකාරිය අමතා පවසා ඇත්තේ තම බෑග්වල තමා තිබූ මුදල් නොමැති බවය. පැමිණිකාරියගේ මවගේ, සහෝදරයාගේ සහ ඔහුගේ බිරිඳගේ සුවිස් ෆ්‍රෑන්ක් 500ක් මෙරට මුදලින් රුපියල් 174750 ක් අඩුවී ඇති බවට පවසා ඇත. පැමිණිලිකාර උපපාලන නිලධාරිනිය  නිවසේ තනිව වෙසෙන අතර එක් මෙහෙකාරියක් සන්තකයේ නිවසේ යතුරක් තිබෙන බවද ඇය උදේට පැමිණ නිවස පිරිසුදු කර සවසට යන බවත් ඉකුත් දෙවෙනි දින ඔවුන් නොමැති අවස්ථාවේදී ඇය නිවසට පැමිණ පිරිසුදු කර පිටව ගොස් ඇති බවද ඇය පොලීසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.



තවත් මෙහෙකාරියක් සම්බන්ධයෙන් පැමිණිල්ලේ සඳහන් කර ඇති බව පවසන පොලීසිය එම මෙහෙකාරිය 2022 වසරේ සිට 2023 ඔක්තෝබර් මස දක්වා සේවය කළ බවත් එම කාලය තුළදී තම රන් ආභරණ නැතිවූ බවත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි නොකළ බවත් උපපාලන නිලධාරිනිය  වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය. නාරාහේන්පිට පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ