ඌව පළාතේ දොඹගහවෙල පොලිස් වසමට අයත් ඇලේලන්ද ප්‍රදේශයේ කාන්තාවක් කැබ් රථයක නංවාගෙන ඇයට ලිංගික අතවර කර ගෙල බැඳි රන්මාලයක් මංකොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයෙකු දොඹගහවෙලා පොලිසිය මඟින් පෙරේදා (18) අත්අඩංගුවටගෙන ඇත.
අතවරයට පත්වූ 36 හැවිරිදි කාන්තාව කොළඹ දෙස සිට එන බස් රථයකින් ගෙනඑන පාර්සලයක් ලබා ගැනීම සඳහා රාත්‍රී 9.00ට පමණ දොඹගහවෙල තැපැල් කාර්යාලය අසල මාර්ගයට පැමිණ තිබේ.
ඒ අවස්ථාවේ ඇය ළඟ නතර කළ කැබ් රථයක් ඇයගෙන් යන්නේ කොහේදැයි විමසා ඇත.
දොඹගහවෙල නගරයට යන බව පවසා ඇති ඇයට නගරයට කැබ් රථයෙන් යාමට හැකි බව පවසමින් රියැදුරු විසින් කැබ් රථයේ ඉදිරිපස අසුනට ඇයව නංවාගෙන තිබේ.
කැබ් රථය නගරයේ නතර නොකොට ඉදිරියටම ධාවනය වී ගලබැද්ද ප්‍රදේශයේ පාළු මාර්ගයකට රැගෙනගොස් ඇයට අතවරකොට ආපසු ඇය සිටි ස්ථානයටම යළි කැඳවාගෙන ගොස් ඇය කැබ් රථයෙන් බසින විට ගෙලබැඳි රන්මාලය අතවර කළ එහි රියැදුරු විසින් කඩාගෙන ඇත.
සිද්ධිය පිළිබඳව දොඹගහවෙල පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. අතවරයට ලක් වූ කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.
දොඹගහවෙල පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති උ.පො.ප. රත්නායක මහතා විසින් සැකකරු අත්අඩංගුවටගෙන ඇත.
ඩී.එස්. ගුණතිලක
0 Comments