Darshani-dilanthika-ekanayake-four-children-Canada-killed

මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍ය තුළද ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙන කැනඩාවේ ඔටාවා නුවර ශ්‍රී ලාංකික පවුලක සාමාජිකයින් පිරිසක් පිහි ඇනුම් කර සමූහ ඝාතනයට ලක්කිරීමේ සිදුවීමට අදාළ තවත් තොරතුරු එරට මාධ්‍ය අද උදෑසන වනවිට වාර්තා කර තිබේ.
ඔටාවා පොලිසිය උත්සාහ කරන්නේ 19 හැවිරිදි තරුණයෙකු මෙතරම් බිහිසුණු අපරාධයක් කරන්නේ මන්දැයි සොයා බැලීමටය.
 ඔහු ජාත්‍යන්තර ශිෂ්‍යයෙකු බවත්, අවසාන කාලයේ මානසික ප්‍රශ්න වලට ගොදුරුවූ අයෙකු ලෙස හඳුනාගන්නට ලැබෙන බව පොලිසිය පවසයි. ඔහු ඝාතනය කළ බවට රහස් පරීක්ෂකයින් චෝදනා කරන පවුල සමඟ එම නිවසේ පහළ තට්ටුවේ කාමරයක ජීවත්ව ඇති අතර සිද්ධියෙන් තුවාල ලබා දැනට දිවි බේරාගත් එකම තැනැත්තා වන ධනුෂ්ක වික්‍රමසිංහ (දරුවන්ගේ පියා) මෙම සිසුවාගේ ලංකාවේ දෙමාපියන්ගේ හිතවතෙකු වූ බවද පැවසේ.
ඝාතන සිදුවීම නිසා 35 හැවිරිදි දර්ශනී සහ දරුවන් 04 දෙනාත් ගාමිණී අමරකෝන් (40) නමැති පවුලේ හිතවතෙකුත් මරණයට පත්විය.


මෙම පවුලේ අයගෙන් දර්ශනී මීට මාස 7 කට පෙර  පසුගිය 2023 වසරේ ජුලි මාසයේ කැනඩාවේ වීසා ලබාගෙන නිවසේ පදිංචියට පැමිණ ඇති අතර අනතුරුව පසුගිය 2023 වසරේ සැප්තැම්බර් මාසයේ ඇගේ සැමියා යැපුම් වීසා මත දරුවන්ද සමග නිවසේ පදිංචියට පැමිණ ඇත. කැනඩාවට සංක්‍රමණය වනවිටත් දර්ශනී ගැබිණියකව සිටි අතර මීට මාස දෙකහමාරකට පමණ පෙර ඇගේ කුඩාම දරුවා කැනඩාවේදී බිහි කළාය.

දැනට අත්අඩංගුවේ පසුවන ඝාතක සිසුවා  19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා දර්ශනීගේ සැමියාගේ හිතවත්කම මත මෙම නිවසේ පහළ තට්ටුවේ පදිංචිව සිට ඇත.
ප්‍රහාරයට පෙර පවුලේ අය සහ සිසුවා අතර කිසිදු ප්‍රශ්නයක් නොතිබූ බව පරීක්ෂණවලදී අනාවරණයවී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ඔටාවාහි හිල්ඩා ජයවර්ධනාරාමයේ බෞද්ධ ආරාමයේ නේවාසික භික්ෂුව අදහස් දක්වා ඇති අතර මෙම පවුල එම විහාරස්ථානයට නිතර යනෙන බවත් ඒ අවස්ථාවල සිසුවාද එහි පැමිණෙන බවත් පසුගිය සතියක සිසුවාගේ උපන්දිනය නිමිති කරගෙන පන්සලේ සැමරුම් උත්සවයක්ද පවත්වා තිබුණ බවත්ය.

19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා ඔටාවා ප්‍රදේශයේ ඇල්ගොන්කින් විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ නිසා මීට මාසයකට හෝ දෙකකට පෙර ඔවුන්ගේ බිම් මහලේ පදිංචියට ගොස් ඇත. තුවාල ලබා ඇති පියා සැකකරුගේ මවුපියන් පවා ශ්‍රී ලංකාවේදී හමුවී ඇති බව පොලිසිය විස්තර කරයි.
නමුත් මෙම සිසුවාට ආසන්න කාලයේ මානසික මට්ටම් සියල්ල හොඳ නැති බව වාර්තා ලැබී තිබේ.


ඔහුට පාසලේදී ප්‍රශ්න ඇති වූ අතර මෑතකදී ඔහු පාසලෙන් ඉවත් වූ බවත් සොයාගෙන ඇත.
ඔහු සියදිවි නසාගැනීමේ සිතුවිලි තිබී ඇතැයිද වාර්තා සටහන් හමුව තිබේ.
ඇල්ගොන්කින් විද්‍යාලයේ ප්‍රකාශකයෙකු තහවුරු කළේ ද සොයිසා එහි ශිෂ්‍යයෙකු වූ අතර ඔහුගේ අවසන් වාර වාරය 2023 ශීත ඍතුවේ පැමිණ ඇති නමුත් ඉන්පසු අත්හැර ඇති බවයි.
සිසුවා මානසික අවපීඩනයෙන් කල්ගත කළ බවට තවත් තොරතුරු පොලිසියට අවශ්‍යව ඇත.
ඔහු නිවසේ නතරවී සිටියදී අතිරේක රැකියා සිදුකරමින් සිටි අතර බදාදා රාත්‍රියේ පිරිසිදු කිරීමේ රැකියාවකට ගොස් නිවසට පැමිණි පසු පෙරකී ප්‍රහාරය එල්ල කර ඇතැයි වාර්තා විය.

සිද්ධියෙන් බරපතල තත්වයේ ප්‍රතිකාර ලබන ධනුෂ්කගේ ඇඟිලි දෙකක කොටසක් කපා දමා ඇති අතර එකක් සැත්කමක් සඳහා සූදානම් කර ඇති බව රෝහල පවසයි. ඔහුගේ නාසය සහ ඇස අතර මුහුණ හරහා කැපුම් තුවාල ඇති අතර පපුවට සහ පිටුපසටද පිහියෙන් ඇන ඇත.
ඝාතන අවස්ථාවෙන් පසු දිවි ගලාවාගත් ධනුෂ්ක නිවසින් පිටත උදව් ඉල්ලා කෑගසමින් සිටින අවස්ථාවේ අසල්වැසියන්ගේ 911 දැන්වීම් ඇමතුම්වලට පොලිසිය ප්‍රතිචාර දැක්වූ පසු පිරිස රෝහල් ගත කර තිබේ.



පවුල කැනඩාවට පැමිණියේ "සිහින සහ සැලසුම්" සමඟ බවත් ප්‍රජා උත්සවවලට උද්යෝගිමත් සහභාගිවන්නන් වූ කරුණාවන්ත සහ උපකාරශීලී පුද්ගලයන් ලෙසත් හිතවතුන් අදහස් දක්වා ඇත.
ඝාතන සඳහා පෙළඹවූයේ කුමක්ද යන්න තේරුම් ගැනීමට බ්‍රහස්පතින්දා කටයුතු කරමින් සිටින බව පොලිසිය පැවසීය.

"මෙම ඛේදවාචකය සිදු වූයේ ඇයිද යන්න පිළිබඳව ප්‍රශ්න රාශියක් ඇති බව අපි දනිමු. මෙම ඛේදජනක අපරාධය කඩිසරව විමර්ශනය කරන අපගේ මිනීමැරුම් ඒකකයේ අවධානය මෙයයි," පොලිස් ප්‍රධානී ස්ටබ්ස් පැවසීය.

සිසුවා බ්‍රහස්පතින්දා කෙටි වේලාවක් අධිකරණයේ පෙනී සිටි අතර දිවි ගලවා ගත් පියා සහ තවත් සාක්ෂිකරුවන් අතළොස්සක් සමඟ කතා නොකරන ලෙසට ඔහුට අධිකරණය නියෝග කළේය. නඩුව ලබන සතියට කල් තැබුවේ සිසුවාට නීතීඥයෙකු ලබා ගැනීමටය.

සිද්ධිය සම්පූර්ණයෙන් ගවේෂණයට කියවන්න පෙර වාර්තා
UPDATE 2 : කැනඩාවට ළඟදි ගිය දර්ශනී දරුවන් සිව්දෙනා ඇතුළු 06 ක් මරා දැමුවේ නිවසේ සිටි කොලු ගැටයෙක්
UPDATE 1 :කැනඩා නිවසක ශ්‍රී ලාංකිකයින් 06 ක් ඝාතනය වේ