If-you-light-the-fire-the-whole-country-will-burn-so-change-this-years-auspicious-immediately

රාජ්‍ය නැකැත් කමිටුවෙන් මෙවර ළිප ගිනි මෙලවීම සඳහා දී ඇති නැකැතට ළිප ගිනි දල්වන්න එපා යැයි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද එම වේලාවට ගිනි දැල්වූවොත් රට ම ගිනි ගන්නා බව ද මෙවර ලබා දී ඇති ආන්දෝලනාත්මක අවුරුදු නැකැත් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ආචාර්ය කැලුම් ගුණතිලක පැවසීය.

කැලුම් ගුණතිලක මෙසේ ප්‍රකාශ කළේ, ජාතික ජේ‍යාතිර්වේදීන්ගේ සංවිධානය යටතේ පිහිටුවාගෙන ඇති ජාතික නැකැත් කමිටුව මගින් ඊයේ (පෙබ. 5) බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ ගුණතිලක රාජ්‍ය නැකැත් කමිටුව ලබා දී ඇති රෑ මැදියම් නැකැත් වෙනුවට පසු දින උදෑසන අවුරුදු නැකැත් යෝජනා කළ ප්‍රවීණ ජ්‍යොතිෂවේදීන් පිරිසක් ද රාජ්‍ය නැකැත් කමිටුව තුළ සිටින බැව් පැවසූ ඒ මහතා ඒ අය ගෙන්වා කරුණු විමසා රාජ්‍ය නැකැත් කමිටුව ලබා දී ඇති අවුරුදු නැකැත් සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙස සංස්කෘතික කටයුතු ඇමතිවරයාගෙන් සහ සංස්කෘතික කමිටුවේ අධ්‍යක්ෂවරියගෙන් ඉල්ලා සිටින බව ද පැවසුවේ ය.

යම් හෙයකින් අවුරුදු නැකැත් සංශෝධනය නොකෙරෙන්නේ නම්, රාජ්‍ය නැකැත් කමිටුව ඉදිරිපත් කර ඇති අශාස්ත්‍රීය අවුරුදු නැකැත් වෙනුවට ශාස්ත්‍රානුකූලව ඉදිරිපත් කරන විකල්ප නැකැත් සඳහා ද රාජ්‍ය පිළිගැනීමක් ලබා දී ඒ සඳහා ද සමාන ප්‍රසිද්ධියක් ලබා දීමට කටයුතු යොදන ලෙස ඉල්ලා සිටින බව ද හෙතෙම පැවසීය.

එවිට ජනතාව වැඩි වශයෙන් පිළිගන්නේ කවුරුන් ඉදිරිපත් කරන නැකැත් දැයි බලා ගැනීමට හැකිවන බව ද ආචාර්ය ගුණතිලක වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කළේ ය.

මෙහිදී අදහස් දැක්වූ ජ්‍යොතිෂවේදී රොෂාන් චානක තිසේරා රාජ්‍ය නැකැත් කමිටුවේ සිටින 41ක් දෙනාට හැකි නම් මාධ්‍ය හමුවට විත් රටට ලබා දී ඇති අවුරුදු නැකැත් සුබද අසුබ ද කියා පවසන ලෙසට අභියෝගයක් කළේ ය. රාජ්‍ය නැකැත් කමිටුවේ සාමාජිකයන් 11 දෙනෙකු ම පසුදා උදෑසන නැකැත් ලබා දී ඇති බව හෙළිවන්නේ යැයි ප්‍රකාශ කළේය. මාධ්‍ය ඉදිරියට විත් රාජ්‍ය නැකැත් කමිටු සාමාජිකයන් තමන් අනුමැතිය දුන් නැකැත් ගැන කතා කරන්නේ නම් ඔවුන්ගේ ජ්‍යොතිෂ දැනුම ගැනද රටට හෙළිවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙහිදී ජාතික ජ්‍යොතිර්වේදීන්ගේ සංගමයේ ජාතික සංවිධායක ජ්‍යොතිර්වේදී රවිශංඛ සේනානායක සමග එහි විධායක කමිටුවේ සාමාජිකයන් වන සමිත සල්ගාදු, ජනක මාධව නවරත්න, දිනේෂ් ගමගේ, ප්‍රදීප් ජයවීර, චරිත් රත්නසූරිය යන ජ්‍යොතිර්වේදීහුද අදහස් දැක්වූහ. ජාතික නැකැත් කමිටුවට සහය පළ කරමින් මෙම අවස්ථාවට ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ආචාර්ය කුමා වෙල්ලාලගේ, මලින්ද සුදර්ශන, ගංගා ලංකේෂ්වර, සම්පත් ලියනගේ දිවාකර, රුවන් රත්නායකද සහභාගි වූහ.

රු කාරියවසම්