Royal-College-students-burst-into-the-musaeus-chanting-R-O-Y-A-L
කොළඹ රාජකීය විද්‍යාලයේ පැවැති බිග් මැච් ක්‍රිකට් සැණකෙළිය අතරතුර  4 වනදා දහවල් එම විදුහලේ සිසුන් විශාල පිරිසක් බාලිකා පාසලක් වන මියුසියස් විදුහලට එක්වරම කඩාවැදී තිබේ.
මියුසියස් විද්‍යාල පරිශ්‍රයේ ගේට්ටු බිඳ දමා එම විද්‍යාලයට අනවසරෙන් ඇතුළු වී ඇත්තේ කොට කලිසම් හැඳගත් නිවාසාන්තර ක්‍රීඩා පුහුනුවක සිසුන් විශාල කණ්ඩායමකි.
කොළඹ රාජකීය හා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පවතින වාර්ෂික ක්‍රිකට් ගැටුම හා රාජකීය විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය හේතුවෙන් රාජකීය සිසුන්  පුහුණුවීම්වලට යොදවා තිබුණ අතර මෙම සිදුවීම සිදුව ඇතැයි රාජකීය විද්‍යාල බලධාරීන් පිළිගෙන තිබේ.

එලෙස පුහුණුවීම් සඳහා එක්වූ සිසුන් පන්සියයකට වැඩි පිරිසක් දහවල් කොළඹ බාන්ස් පෙදෙසේ පිහිටි මියුසියස් බාලිකා විද්‍යාලයට ඇතුළු වීමට උත්සාහ දරා තිබුණු අතර, මියුසියස් විද්‍යාලයේ විදුහල්පතිනිය කළ දැනුම්දීම මත කුරුඳුවත්ත පොලිසියද විද්‍යාලයේ ආරක්ෂාවට කැඳවා තිබේ.



මෙම සිසුන් අවස්ථා කිහිපයකදීම පොලිසිය හා ගැටී මියුසියස් විද්‍යාලයේ තාප්පයෙන් පැනීමටත් ගේට්ටුව තල්ලු කිරීමටත් උත්සාහ දැරූ අතර, පොලිසිය විසින් දැඩි පරිශ්‍රමයක් යොදා එම තත්ත්වය පාලනය කර තිබෙයි.

පසුව සියලුම රාජකීය සිසුන් මියුසියස් බාලිකා විදුහලේ පිහිනුම් තටාකය අසලට එක්වී R-O-Y-A-L රාජකීයන්ගේ නාමය උස් හඬින් ආමන්ත්‍රණය කරමින් විසිර ගොස් තිබේ.
විදුහල්පතිනිය මෙම පිරිස එළවා දමන්නැයි කර තිබූ ඉල්ලීම අනුව
පොලිසිය රාජකාරි කරමින් සිටින අතරතුර ප්‍රබල ඇමැතිවරයකුගේ පුතකු කුරුඳුවත්ත වැඩබලන ස්ථානාධිපතිවරයාට තම පියාගෙන් ඇමැතුමක් යැයි කියමින් දුරකතනය ලබාදීමට උත්සාහ කළ අතර ස්ථානාධිපතිවරයා එම දුරකතනය ලබාගැනීම ප්‍රතික්ෂේප කර ඇත.
කඩාවැදුණු ආකාරය වීඩියෝව මේ සමග පළවේ.