මට්ටක්කුලියේ පොල්තෙල් බෙදාහරින්නකුගෙන් රුපියල් ලක්ෂ 446ක පොල්තෙල් ගෙන මුදල් වංචා කළ බවට චෝදනා කොට නඩු පවරනු ලැබූ දේශමාමක බලවේගයේ නායක සහ ශ්‍රී ලංකා නිදහස් භික්ෂු සංගමයේ හිටපු ලේකම් ඌවතැන්නේ සුමන හිමියන් ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්ත මාරසිංහ මහතා ඊයේ (20) නියම කරන ලදී.
මට්ටක්කුලියේ පර්ගියුසන් පාරේ පිහිටි කේ.එස්.වී. නැචුරල් ෆුඩ් නමැති ව්‍යාපාරය හිමි සෙල්වරාජා ජෙගදීස් නමැති ව්‍යාපාරිකයාගෙන් පහන් පින්කමකට යයි පවසා
2022 වසරේ ජනවාරි 20දා සහ මැයි මස 20දා අතර කාලය තුළ දී රුපියල් 446,13,100ක පොල්තෙල් මිලදීගෙන මුදල් වංචා කළ බවට චෝදනා කර අධිචෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා විසින් නඩු පවරා තිබේ.
ඉන්පසු 2021 අංක 5 දරන පනතින් සංශෝධිත 1991 අංක 32 දරන දණ්ඩ නිති සංග්‍රහයේ 386 වගන්තිය යටතේ විත්තිකරුට එරෙහිව 2023 වසරේ අගෝස්තු 18දා නඩු පැවරීම සිදුව ඇත.
ඊයේ (20) නඩුව කැඳවූ අවස්ථාවේ විත්තිකරුට අධිචෝදනා කියවා භාර දෙන ලදී. ඉන්පසු ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා විසින් ඇප නියම කිරීම සිදුවිය.
2010 ජනාධිපතිවරණයේ දී ඌවතැන්නේ සුමන හිමි හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆෝන්සේකා මහතාට සහාය දක්වා ඇති අතර එම සමයේ ටී – 56 ගිනි අවි දෙකක් සන්තකයේ තබාගෙන සිටිය දී අත්අඩංගුවට ගෙන නඩු පවරනු ලැබූ අතර කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා 2020 වසරේ ජුනි 1දා බරපතළ වැඩ සහිතව ජීවිතාන්ත සිර දඬුවමක් විත්තිකරුට නියම කරන ලදී.
වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් ලබමින් සිටි සුමන හිමියන් 2021 වසරේ ජනවාරි 15දා ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලදී.
(චන්දන ජයවීර)
0 Comments