Thousands-attend-the-funeral-of-Alexei-Navalny-who-Putin-said-would-kill-him

අත්අඩංගුවට ගැනීම් පිළිබඳ ක්‍රෙම්ලිනයේ අනතුරු ඇඟවීම නොතකා, ආක්ටික් සිරකඳවුරකදී මිය ගිය ව්ලැඩිමීර්   පුටින්ගේ ප්‍රමුඛ විවේචකයා වන විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිට සමු දීමට දහස් ගණන් ශෝකවන්නන් මොස්කව් වෙත රැස්ව සිටියහ .

සිකුරාදා දිනයේදී 47 හැවිරිදි නවාල්නි මහතාගේ සිරුර බොරිසොව්ස්කි සුසාන භූමිය වෙත දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ පාගමනින් ගෙන ගිය අතර, රැස්ව සිටි පිරිස “පුටින් මිනීමරුවෙකි” සහ “යුද්ධයට එපා” යනුවෙන් පවසමින්  කෑ ගැසූහ.

ප්‍රසිද්ධියේ නවාල්නිට සහය දැක්වීම රුසියාවේ දුර්ලභ සංදර්ශනයක් බවට පත් විය .

නවාල්නිගේ කණ්ඩායම අනුස්මරණ දේව මෙහෙයේ ඡායාරූපයක් ප්‍රකාශයට පත් කළ අතර , එහි නවාල්නිගේ දේහය මල්වලින් ආවරණය කර ඇති ආකාරය හා ඔහුගේ දෙමාපියන් ඔහුගේ පැත්තේ වාඩි වී සිටින ආකාරය පෙන්නුම් කළේය.

නවාල්නිගේ යූ ටියුබ් නාලිකාවේ සිදු කරන ලද අවමංගල්‍යයේ සජීවී ප්‍විකාශයක් අතරතුර නවාල්නිගේ දිගුකාලීන සගයා වන ලියොනිඩ් වොල්කොව් අදහස් දැක්වීය.

කෙටි ආගමික පෙරහැරකින් පසු, නවාල්නිගේ සිරුර බොරිසොව්ස්කි සුසාන භූමියට ගෙන ගොස් තැන්පත් කරන ලදී.



 ඔහුගේ මුහුණ සුදු රෙද්දකින් වසා දැමීමට  පෙර අවසන් වරට ඔහුගේ මව ඔහුව සිප ගනිමින් සමුගන්නා අයුරු සුසාන භූමියේ දර්ශනවල දැක්වේ.

නවාල්නිගේ ප්‍රියතම චිත්‍රපටය වන ටර්මිනේටර් 2 හි තේමාව වාදනය කරන ලද්දේ ඔහුගේ මිනී පෙට්ටිය භූමදාන කිරීමෙන් පසුවය.

විපක්ෂ නායකවරයාගේ බිරිඳ වන යුලියා, ඔහුගේ පුතාවන Zakhar, දියණිය Dasha සහ ඔහුගේ සහෝදරයා Oleg යන අය රුසියාවෙන් පිටත ජීවත් වන අතර අවමංගල්‍යයට සහභාගී නොවීය. එයට හේතුව වන්නේ ඔවුන් නැවත රුසියාවට  පැමිණියහොත් අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පැවතීමයි.

ඔවුන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමෙන් පසු රුසියාවෙන් පලා ගිය  නවාල්නිගේ සමීපතම සගයන් බොහෝමයක් මොස්කව්හි අපරාධ  ලැයිස්තුවේ සිටින අතර ඔවුන් රුසියාවට ඇතුළු වුවහොත් දිගුකාලීන සිර දඬුවම්වලට මුහුණ දෙනු ඇත.

රුසියානු බලධාරීන් පවසන්නේ නවාල්නි සිහිසුන්ව වැටීමෙන් පසු හදිසියේම මිය ගිය බවයි. නවාල්නි  ඝාතනය කළ බවට ඔහුගේ බිරිඳ ව්ලැඩිමීර් පුටින්ට චෝදනා කර තිබේ.

සමාජ මාධ්‍යවල හැඟුම්බර සටහනක් තබමින් යුලියා සිය සැමියාගෙන් සමුගත්තේ,“වසර 26ක නිර්මල සතුටට ස්තූතියි... ඔබ නොමැතිව ජීවත් වන්නේ කෙසේදැයි මම නොදනිමි, නමුත් මම ඔබව සතුටු කිරීමටත් මා ගැන ආඩම්බර වීමටත් උත්සාහ කරමි..". යනුවෙන් පවසමිනි.

එක්සත් ජනපදයේ සහ ජර්මනියේ තානාපතිවරුන් සහ බ්‍රිතාන්‍යයේ භාරකාර ටොම් ඩොඩ් ඇතුළු බටහිර රාජ්‍ය තාන්ත්‍රිකයින් අවමංගල්‍යයට සහභාගී වූහ.

පල්ලියේ සිට බොරිසොව්ස්කි සුසාන භූමිය දෙසට ගමන් කරන විට අවමංගල්‍ය රථයට ශෝකවන්නන් මල් විසි කරන ආකාරය වීඩියෝ දර්ශනවල දැක්වේ .

ගෞරව දැක්වීමට පැමිණි බොහෝ දෙනෙක් කියා සිටියේ , අත් අඩංගුවට ගන්නා බව. වන අනතුරු ඇඟවීම් මධ්‍යයේ පැමිණීමේ අවදානම තමන් තේරුම් ගත් නමුත් කෙසේ හෝ පැමිණීමට තීරණය කළ බවයි. අභාවප්‍රාප්ත රුසියානු විපක්ෂ නායකයාට සහාය දැක්වීම සඳහා අත්අඩංගුවට ගැනීම්වලට වුවද මුහුණ දෙන බව ක්‍රෙම්ලිනය පවසා තිබුණි.



පසුගිය මාසයේ නවාල්නිගේ මරණයෙන් පසු දින රට පුරා ඔහු වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්වූ සිය ගණනක් මිනිසුන් අතඩංගුවට ගන්නා ලදී.

OVD-Info නිරීක්ෂණ කණ්ඩායමට අනුව , නවාල්නිට උපහාර දැක්වූ පුද්ගලයින් 67 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇත. අවමංගල්‍යයට සහභාගී වූවන් පිළිබදවද දත්ත ලබාගෙන ඇති අතර , ඔවුන්ට පසු කාලීනව දඬුවම් ලබාදෙතැයි  මානව හිමිකම් විශේෂඥයෝ පැවසූහ.

නවාල්නිගේ ආධාරකරුවන් කිහිප දෙනෙකු අවමංගල්‍යයට සහභාගී වීමට පිටව යද්දී අත්අඩංගුවට ගත් බවට වන සිදුවීම්  වාර්තා විය.

ප්‍රවේශයට බාධා කර ඇති බව වාර්තා වුවද, 250,000 කට අධික පිරිසක් නවාල්නිගේ අවමංගල්‍යයට සහභාගී වී සිටියහ.

නවාල්නි කණ්ඩායම පැවසුවේ ක්‍රෙම්ලිනය අවමංගල්‍යයේ පින්තූර අන්තර්ජාලය හරහා සංසරණය වීම වැළැක්වීමට උත්සාහ කරන අතර එක් අන්තර්ජාල නිදහස් කණ්ඩායමක් පැවසුවේ ජංගම දුරකථන සේවා දත්ත සීමා කර ඇති බවයි.

මහජනතාව නොමැතිව සංවෘත අවමංගල්‍යය උත්සවයක් පැවැත්වීමට බලපෑම් කළ බවට නවාල්නිගේ පවුලේ අය චෝදනා කළ අතර, ඔහුගේ මවට ඔහුගේ සිරුර ලබා ගැනීමට දින ගණනාවක් සටන් කිරීමට සිදු විය .

නවාල්නිගේ මරණය ගැන පුටින් තවමත් අදහස් දක්වා නැත. සිකුරාදා වාර්තාකරුවන් සමඟ කළ ඇමතුමකදී, ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් දේශපාලන චරිතයක් ලෙස නවාල්නි පිළිබඳ කිසිදු තක්සේරුවක් ලබා දීම ප්‍රතික්ෂේප කළ අතර ඔහුට නවාල්නිගේ පවුලට කීමට කිසිවක් නොමැති බව පැවසීය.