අම්පාර තිරුකොවිල් මෙතෝදිස්ත මධ්‍ය මහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ මැරතන් ධාවනයේ යෙදුණු 10 වැනි ශ්‍රේණියේ සිසුවකු හදිසියේ රෝගාතුරවී රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියයාමේ සිද්ධියකින් පසු පිරිසක් තිරුක්කෝවිල් රෝහල ඉදිරිපිට කලබලකාරී ලෙස හැසිරීමෙන් ඊයේ (11)පෙරවරුවේ එහි දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.
එම කුපිත වූ පිරිස තිරුක්කෝවිල් රෝහලට ගල්මුල්වලින්ද පහරදී තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.මෙසේ මියගොස් ඇත්තේ තිරුක්කෝවිල් මෙතෝදිස්ත මහා විදුහලේ 10 වැනි ශ්‍රේණියේ ජේ. විදුර්ශන් නමැති සිසුවෙකු.එම විදුහලේ නිවාසන්තර ක්‍රීඩා උළෙලේ මැරතන් ධාවන තරගය අතරතුර දී සිසුවා ඊයේ උදේ 7.30ට පමණ හදිසියේ අසනීපවී ඇත.
ඒ අනුව විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ කීප දෙනකු සහ සිසුන් පිරිසක් එම සිසුවා තිරුක්කෝවිල් රෝහලට ඇතුළත් කර ඇති බවත් එහිදී මූලික ප්‍රතිකාර දීමෙන් අනතුරුව සිසුවා අක්කරපත්තුව මූලික රෝහලට මාරුකර යැවීමෙන් පසුව මියගිය බවත් පොලිසිය කියයි. සිසුවා මියයාමෙන් අනතුරුව තිරුක්කෝවිල් රෝහලෙන් නිසි ප්‍රතිකාර ලබා නොදුන් බවට චෝදනා කරමින් මවුපියන්, සිසුන් ඇතුළු පිරිසක් වෛද්‍යවරුන්ට විරෝධය පළකර රෝහල ඉදිරිපිට විරෝධතා පැවැත් වූහ.
එහිදී ඇතිවූ උණුසුම් තත්වයක්ද පාලනය කිරීමට තිරුකෝවිල් පොලිසියේ නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකාය ද එහි කැඳවනු ලැබීය.
පොලිසිය කලහකාරි පිරිස් සමග සාකච්ඡා කර තත්ත්වය පාලනය කිරීමට පසුව පියවර ගත්තේය. මේ සම්බන්ධයෙන් තිරුක්කෝවිල් කලාප අධ්‍යාපන අධ්යක්ෂ ආර්. උදයකුමාර් මහතාගෙන් අප කළ විමසීමක දී ඔහු මෙසේ පැවැසීය.අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛයට අනුව උදෑසන 6.30ත් 7.30ත් අතර කාලයේ තමයි තරග පැවැත්විය යුත්තේ. ඒ අනුව තමයි උදේ තරග පැවැත් වූවේ. අනෙක් තරගයට සහභාගී වූ සෑම දරුවකුම වෛද්‍ය පරීක්ෂණවලට යොමු කළා. තරගය අවසන් වූ පසුව රෝගි වූ එම දරුවා වහා රෝහල් ගත කළා. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ද වෙනම පරීක්ෂණයක් කරනවා යැයි කීය.
0 Comments