anuradapura-archiology

කුඹුරක තිබූ නිධානයකින් ලබාගත් දඹරන් පිළිමයක් බව කියන, බුදු පිළිමයක් රුපියල් ලක්ෂ 50ක මුදලකට විකිණීමට ගිය දේවාලයක් පවත්වාගෙන යන වයෝවෘද්ධ කාන්තාවක්, මැණික් ගල්වලට සමාන ගල් හතරක් සමග පෙරේදා (04දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.



ගල්නෑව කලංකුට්ටිය ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවක මෙසේ අත් අඩංගුවට පත්ව ඇත.

බුදු පිළිමයක් විකිණීමට යන බවට අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  තිලින හේවාපතිරණ මහතාට ලැබුණු තොරතුරකට අනුව මෙම විමර්ශනය සිදුකර සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.පොලිස් උපාය ධූතයෙකු යොදවා දඹරන් පිළිමය මිලදී ගන්නා බවට පවසා, ගැනුම්කරුවෙකු ලෙස ගොස් සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

දේවාලයට පැමිණි පුද්ගලයෙකුට දේවාරූඩයෙන් ශාස්ත්‍ර කියන අවස්ථාවේදී අසල කුඹුරක ගල්තලාවක මෙම පිළිමය තිබෙන බවට පැවසීමෙන් අනතුරුව ගල්තලාවේ, අදාළ ස්ථානයේ ගල්පතුරක් කැඩීමේදී, මෙම මැණික් ගල් හතර සහ පිළිමය හමුවූ බව සැකකාරිය  සිදු කළ ප්‍රකාශවල සටහන්ව ඇතැයි පොලීසිය සඳහන් කරයි.සැකකාරියගේ නිවස පරීක්ෂා කිරීමේදී නිවසේ පුද පූජා පවත්වන බුදු පිළිමය අසල වතුර පිරවූ වීදුරු බෝතලයක දමා තිබී, මැණික් ගල්වලට සමාන එම ලා නිල් පැහැති ගල් හතරද හමුවූ බව පොලීසිය කියයි.අත්අඩංගුවට ගත් සැකකාරිය ඉදිරි විමර්ශන කටයුතු සඳහා ගල්නෑව පොලීසියට භාර දුන් බවද කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කළේය.

අනුරාධපුර - බී.පී.චතුරංග