basil-maithri-issue
බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු කිසිවකු තමන්ට අභියෝගයක් නොවන බවත්, ඔහුගේ පවුලේ ලොක්කෝ පොඩ්ඩො සැවොම ගෙදර යැවීමට කටයුතු කළේ තමන් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලිකත්වයෙන් සකස් කරන පොදු සන්ධානයේ නම, ලකුණ හා වැඩපිළිවෙළ ඉදිරි සතිය තුළ ප්‍රකාශයට පත් කරන බවත්, මෙම සන්ධානයට මේ වන විට දේශපාලන පක්ෂ විශාල ප්‍රමාණයක් සම්බන්ධ වී තිබෙන බවත්, ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දීම සඳහා සන්ධානය සකස් කර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.




ඊයේ (05දා) පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.

“පක්ෂයෙන් ඉවත් වී ආණ්ඩුවට ගොස් සිටින ඕනෑම කෙනෙකුට සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගන්නවා නම් නව එයට එක් විය හැකියි. ඉදිරි මැතිවරණවලදී කිසිදු කණ්ඩායමක් නව සන්ධානයට අභියෝගයක් වන්නේ නෑ.විවිධ දේශපාලන කණ්ඩායම් ද විවිධ සන්ධාන හදමින් සිටිනවා.ජනාධිපතිවරණයට පුද්ගලයන් නම් කරමින් සිටිනවා. අපේ සන්ධානයේ ජනාධිපති අපෙක්ෂකයා කවුද යන්න තවමත් තීරණය කර නැහැ.නව සන්ධානය යටතේ ආණ්ඩුවක් කටයුතු කරන්නේ කෙසේද යන ප්‍රතිපත්ති ප්‍රකාශයත් සකස් කර අවසන්. මෙම කටයුතු සඳහා ආචාර්යවරුන්, මහාචාර්යවරුන් 30කට වැඩි ප්‍රමාණයක් හා පක්ෂයේ උගතුන්, බුද්ධිමතුන් සම්බන්ධ වුණා. ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරි දිනවල එළිදක්වනවා.සන්ධානයේ ව්‍යවස්ථාව අනුව පිළිගත හැකි ඕනෑම කෙනෙකුට කණ්ඩායමක් සමග සම්බන්ධ විය හැකියි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් ද සම්බන්ධ විය හැකියි. පදිංචිව සිටි නිල නිවෙසින් එළියට දැමූ බවට මේ දිනවල ඇතැම් මාධ්‍ය ප්‍රචාරය කරනවා. මා නිවසින් ඉවත් වී වසර දෙකකට වැඩි කාලයක් ගත වී තිබෙනවා.එහි මේ වන විට සිටින්නේ වර්තමාන ජනාධිපති.“

ඉන්දික හේවාවිතාරණ