කැනඩාවේ ඔටාවා නුවර නිවසක සිදුවූ සමූහ ඝාතන සිදුවීමක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වල තොරතුරු පළවෙමින් තිබේ.
බදාදා රාත්‍රියේ ඔටාවාහි බාර්හේවන් උපනගරයේ නිවසක් තුළ ළමුන් හතර දෙනෙකු සහ වැඩිහිටියන් දෙදෙනෙකු මෙලෙස ඝාතනය කර තිබෙන අතර ඔවුන් සියල්ලන් ශ්‍රී ලාංකිකයින් බව කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය තහවුරු කර තිබේ.
911 වෙත ලැබුණ ඇමතුම බදාදා රාත්‍රී 10:50 ට පමණ වාර්තාවූ බවත් ඒ සමග පොලිස් රථ හා ඇම්බියුලන්ස් රථ නිවස වෙත පැමිණි බවත් අසල්වාසීන් අතරින් මෙම සිදුවීම දන්නා අය විරලවූ බවත් දැනගත්තේ ඊට පසු දින එනම් බ්‍රහස්පතින්දා බවත් කැනඩා මාධ්‍ය වාර්තා කරයි.
සිද්ධිය නිසා ළමුන් 4 දෙනෙකු හා ඔවුනගේ මව මියගොස් ඇති අතර මියගිය අනෙක් පුද්ගලයා කවුදැයි තවම ප්‍රසිද්ධ කර නැත. මෙම සිදුවීම නිසා එක් අයෙකු බරපතල තුවාල සහිතව රෝහල් ගත කර ඇති අතර ඒ දරුවන්ගේ පියා බව පැවසේ. සිදුවීමෙන් ටික වේලාවකට පසු ඔටාවා නගර මධ්‍යයේ සිට කිලෝමීටර් 15ක් පමණ දකුණට වන්නට පොලිසිය විසින් හඳුනාගෙන නොමැති පිරිමි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ඝාතන සිදු කර ඇත්තේ වෙඩි තැබීමකින්දයි මාධ්‍ය කළ විමසීමකදී පොලිසිය පවසන්නේ තවම ඒ ගැන කියන්නට බැරිය කියාය.
මෙය පවුල තුළ ඇතිවූ ආරවුලක්ද යන සැකය ගැන පොලිසියෙන් කළ විමසීමේදී පොලිසිය එය පවුලේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට අදාළ ආරවුලක් නොවන බව පවසා ඇත.
ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙකු කැනඩාවේ සීබීසී නාලිකාව වෙත පැවසුවේ මියගිය අය අතර ශ්‍රී ලාංකික කාන්තාවක් සහ ඇගේ දරුවන් සිව් දෙනා සිටින බවත්, ශ්‍රී ලාංකිකයා පියා දිවි ගලවා ගත් නමුත් තුවාල ලැබූ බවත්ය. මේ අයගේ ඥාතීන්ව තම නිලධාරීන් සම්බන්ධ කරගත් බවත් ඔවුන් සමග සමීපව කටයුතු කරන බවත් දන්වා ඇත.
අත්අඩංගුවට පත්වූ සැකකරු ගැන අදහස් දක්වමින් සීබීසී රේඩියෝවේ ඔටාවා මෝනිං සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් ප්‍රධානී එරික් ස්ටබ්ස් පැවසුවේ වින්දිතයන් සහ සැකකරු අතර සබඳතාවයක් ඇතිදැයි සොයන නමුත් ඒ පිළිබඳව තවමත් අදහස් දැක්විය නොහැකි බවයි.
සමාජ මාධ්‍යවල ඔටාවා නගරාධිපති මාර්ක් සට්ක්ලිෆ් එය හැඳින්වූයේ "අපගේ නගරයේ ඉතිහාසයේ ප්රචණ්ඩත්වයේ වඩාත්ම කම්පන සහගත සිදුවීම් වලින් එකක්" ලෙසිනි.
මේ ඝාතනය සම්බන්ධ වැඩිදුර තොරතුරු ඉදිරියේදී අනාවරණය කරන බව පොලිස් ප්‍රධානී එරික් ස්ටබ්ස් මාධ්‍ය වෙත දන්වා තිබේ.
UPDATE: කැනඩාවට ළඟදි ගිය දර්ශනී දරුවන් සිව්දෙනා ඇතුළු 06 ක් මරා දැමුවේ නිවසේ සිටි කොලු ගැටයෙක්
0 Comments