ඊයේ (13) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අතර හමුවක් සිදුව තිබේ.
මෙම හමුව සඳහා ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම් (දේශපාලන) පැට්රික් පිකරින් (Patrick Pickering), ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික විජිත හේරත් යන අය එක්ව ඇත.
මේ වනවිට ශ්‍රී ලංකාවේ පවතින සමාජ ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් වූ අතර ජාතික සමගිය ගොඩනැගීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ සැලසුම් පිළිබඳවද දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු වී තිබේ.
කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවීම සඳහා වන ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකගේ ඉදිරි කැනඩා සංචාරයට සුබ පැතීමටද මහ කොමසාරිස් මෙය අවස්ථාවක් කර ගෙන ඇත.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හා ජාතික ජන බලවේගය අතර අද (14) හමුවක් පැවැත්වීමට නියමිතයි.
ජාතික ජන බලවේගයේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති පැවසුවේ
ආණ්ඩුව විසින් ජනතාව මත පටවා ඇති ආර්ථික පීඩනය සම්බන්ධයෙන් මෙම හමුවේදී අවධානය යොමු කිරීමට නියමිත බවයි.
0 Comments