The-daughter-who-made-a-false-complaint-that-her-father-abused-a-cousin-was-arrested

සිය පියා විසින් ඥාති සොයුරියක අපයෝජනය කළ බවට අසත්‍ය පැමිණිලි කළ දියණියක සහ අසත්‍ය ප්‍රකාශ පොලීසියට ලබා දුන් ඇයගේ ඥාති සොයුරිය අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලීසිය සඳහන් කරයි.

පානදුර වඳුරම්මුල්ල ප්‍රදේශයේ පදිංචි 42 සහ 22 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය.

සිය පියා ඥාති සොයුරිය අපයෝජනය කරන බවට පළමු සැකකාරිය ඉදිරිපත් කළ පැමිණිල්ලක් මත පොලීසිය ඇගේ ඥාති සොයුරියගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමේදී ලොකු අප්පා තමා අපයෝජනය කළ බවට ඇයද ප්‍රකාශ ලබා දුන් බව පොලීසිය කීය.

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 14ක් රිමාන්ඩ් බන්ධනාගාරගත කළ බවද පොලීසිය පවසයි.පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගෙන් ලද නියෝග මත වැඩිදුර විමර්ශන කළ පොලිසිය ස්ථානීය පරීක්ෂණය සිදු කිරීමේදී අපයෝජනයක් සිදුව නොමැති බවට අනාවරණය කරගෙන තිබේ.ඒ අනුව අපයෝජනයට ලක්වූ බව කියන කාන්තාවගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිම්වලදී එවැනි කරදරයක් තමන්ට සිදු නොවූ බව ඇය ප්‍රකාශ කර ඇතැයි පරීක්ෂණ සිදු කළ කාන්තා නිලධාරිනියක  සඳහන් කළාය.



ඒ අනුව පැමිණිලිකාරියගෙන්ද සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ සිය පියාගෙන් නිවසේ කරදර සිදුවන බැව්න් අසත්‍ය පැමිණිල්ලක් කළ බවය.ඒ අනුව සැකකාරියන්  දෙදෙනා පොලීසියට අසත්‍ය ප්‍රකාශ සිදු කිරිම  සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.පානදුර දකුණ පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

 පානදුර සුමිත්  පොතුපිටිය